දවල් දුටු සිහිනය!!!!!

ගෙදර ඉස්සරහාම ලොකු සුදු කොඩියක්... ඇයි මේ??? අනේ මංදා... හ්ම්ම්ම්... වෙනදට උවමනාවත විතරක් අපේ ගෙදරට එන අය අද මේ මොකද ගේට්ටුව ඉස්සරහම ලොකු කතාවක? අහන්නත් බෑ. අනේ මංදා. අනේ මෙන්න වැඩක්, මගේ යාලුවො ඔක්කොම ඇවිත්.. අවුරුදු ගානකින් කට්ටිය ඔක්කොම අපේ ගෙදර ඇවිත්, සමහර අය මගේ මූනවත් බලන් නැති අය. ඇයි මේ?? ආහ්, මේ මොකද?? මගේ ලගටම ඇවිත් මාව දැක්කෙ නෑ වගෙ හැරිලා ගියා අර පිස්සා.මෙන්න බො
ලේ වැස්සකට වත් අපේ ගෙදර ආපු නැති රත්ගමයත් ඇවිත් ගාලු සෙනග ඔක්කොම ඇවිත්. මොකක් හරි අවුලක් වෙලා.

ගේට්ටුවෙන් ඇතුලට යනකොටම දිගටම ලස්සනට ගොක් කොල සැරසිලි කරලා.හ්ම්ම්ම්ම්.. දානෙකට පිරිතකට අපේ ගෙදර අය අත දිගෑරලා වියදන් කරාට, දෙයියනේ මේ තරන්??? හ්ම්ම්ම්ම්... බය හිතෙනවා. මළ ගෙදරක්, මට දැනෙනවා.. වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවී. ඒත් කවුද මැරිලා ඉන්නෙ?? හිත ගැස්සෙනවා. අක්කි?? අක්කිත් ඇවිත්, මං දන්නෙත් නෑ. හැමෝම ඇවිත්? ඇයි කවුරුත් මට මුකුත් කියන්නෙ නැත්තෙ. කවුද දෙයියනේ මැරුනේ?? අනේ මට කියන්න??

හැමෝම ඇවිත්, දානෙකට මගුලකට විතරක් එකතු වෙන අය හැමොම ඇවිත්. චූටි කෙල්ල ඇවිදිනවා. අනේ ආසාවෙ බෑ, දුවලා ගිහින් වඩා ගන්න හිතෙනවා, ඒත් ඊට වඩා හිත ගැහෙනවා. කවුද දෙයියනේ මැරුනෙ?? මට කියන්නකො??? කවුරුත් ඇයි මාව ගනන් ගන්නෙ ඇත්තෙ??හ්ම්ම්ම්ම්... මොකක් හරි ප්‍රශ්නයක්, තේරෙන්නෙ නෑ ඔලුව අවුල් වෙනවා.

ගේ ඇතුලෙත් ඔක්කොම අස් කරලා, වෙනදට සාලෙ පිරෙන්න තියන මේස පුටු අද එකක් වත් නෑ..ප්‍රීති විරාජ් ගෙ මං ආසම කරන "අලි ඇත්තු" චිට්‍ර ටිකත් ගලවලා. ගෙදර දානෙකටවත් ඒවා ගලවන්න දුන්නෙ නෑ මං. හ්ම්ම්ම්ම්... අම්ම කෝ??? ගිහින් බලන්න ඕන කාමරේට. අනේ ඇයි මේ අම්ම අඩන්නෙ?? අක්කා, අක්කි, ඇන්ටි ඔක්කොමලා ඇයි මේ අඩන්නෙ?? අහ්, වෙලාව රෑ 7යි. "ඔන්න දැන් මල් ශාලාවෙන් ගේනවලු" කවුදෝ ඇවිත් කියුවා. කාගෙන් අහන්නද මං???අනෙ මංදා. මේ ලෝකෙ මං ආසම නැති දේ, අම්මා අඩන එක, ඒත් දෛයනෙ අද මට ඇඩෙන්නෙ නැත්තෙ ඇයි??? හ්ම්ම්ම්ම්... ඔන්න ආවා වාහන පේලියක්. මට මේක බලාගන්නකන් ඉන්න වෙනවා.කවුරුත් මට කියන්නෙ නෑ ඒ කියන්නෙ?

ලස්සන ලොකු ඇත් දල දෙකක් උස්සන් ඇවිත් තිව්වා. උඩුවියන්, සාලෙ මැදින් තියලා,හැම දේම හරි ලොකූ කෑගැහිල්ලක් මැදින් ලස්සනට කැටයම් කරපු මිණි පෙට්ටියක් ගෙනත් තිව්වා. ලස්සනයි. අයියා, මේ තරන් අඩන්නෙ ඇයි??? පවුලෙ හැමොම මෙතන ඉන්නකොට් කවුද මේ මැරිලා ඉන්නෙ? හිතා ගන්නත් බෑ.
හෙමීට හෙමීට ඒ පෙට්ටියෙ පලු 2 ඇරියා. දෙවියනෙ.

ලස්සන සාරියක් ඇදන් එතන ඉන්නෙ මම නේද?????

උපුටා ගැනීම
http://ahinsakaawi.blogspot.com/2011/02/blog-post_21.html

Post a Comment

0 Comments