අප සැබෑවටම ආදරය කළ කෙනෙක් අපෙන් වෙන් වුණාම තදබල වියෝ දුකක් (Grief) දැනෙනවා. වියෝදුක දැනෙන්නෙ අප ආදරය කළ කෙනෙක් මිය ගිය විට පමණක් නොවෙයි. ආදරය කළ පුද්ගලයා තමන් අතහැර ගිය විටත් මේ වියෝ දුක මෙලෙසින්ම දැනෙනවා. අපි දැන් මේ වියෝදුක අපට දැනෙන ආකාරය ගැන සොයා බලමු. ආදරයෙන් බැඳී සිටින යුවළකට කුමක් හෝ හේතුවක් මත වෙන් වෙන්නට සිදු වුණේ යැයි සිතන්න. මෙහිදී ‘අසවල් හේතුව නිසා අපට මේ සම්බන්ධය පවත්වා ගෙන යන්න බෑ. අපි වෙන්වෙමු’ යැයි දෙදෙනාගෙන් එක් අයකු අනෙකාට යෝජනා කළ හැකියි. මේ යෝජනාව කළේ පෙම්වතා විසින් පෙම්වතියට යැයි සිතමු. එහිදී ඇගේ සිත එකවරම එම යෝජනාව පිළිගන්නෙ නෑ. ඇතැම් විට ඇය ඊට මතුපිටින් එකඟතාවය පළ කළත් ඇගේ මනස කියන්නෙ ‘දැන් ඔහොම කිව්වට එයා මාව දාල යන්නෙ නෑ” කියලයි. මෙසේ ඔහු තමා ගෙන් වෙන් වී යන බවට මනස නොපිළිගන්නා එවැනි අනපේක්ෂිත දෙයක් එකවරම පිළි ගැනීම තුළින් මනසට වන හානිය වළක්වා ගැනීමේ උපක්‍රමයක් ලෙසයි.

 එය මනස විසින්ම සිදු කරගන්නා ආරක්ෂණ ක්‍රමෝපායක් (Defend Mechanism) ඒ වගේම සමහරු මේ වගේ අවස්ථාවකදී අනෙකා කෙරෙහි ඇති වන තදබල කෝපය නිසාම ‘ඔයාට මාව එපා නම් මටත් ඔයාව එපා’ කියලා කියන්න පෙළැඹෙනවා. ඒකත් මනස විසින්ම සිදුකරන ආරක්ෂණ ක්‍රමෝපායන් තමයි. මේ මොනවා කිව්වත් මනස අපේක්ෂා කරන්නෙ එයා ඔහොම කිව්වට වෙනද එන වෙලාවට එයි. වෙනද වගේ මාත් එක්ක කතා කරයි“ කියලයි. නමුත් වෙන් වී ගිය පුද්ගලයා නැවත කතා නොකරන කොට, වෙනදා මුණ ගැහුණු තැන්වලදී ඒ වෙලාවල්වලදී නොදකින කොට මනස දැන ගන්නවා එයා ආයෙත් එන්නෙ නැති බව. ඒ වෙලාවට හිතට මහා විශාල පාළුවක් වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. හිත පුපුරු ගහන, පිච්චෙන ස්වභාවයකුත් දැනෙන්න පුළුවන්. ඊට පස්සෙ ඔහුට ඇයට තමා ආදරය කළ පුද්ගලයා මුලදී මුණ ගැහුණු තැන්වලදී නැවත පෙනෙනවා වගේ හැඟෙනවා. ඒත් බලනකොට කිසි කෙනෙක් එතන නෑ. තවත් සමහර වෙලාවට වෙන කෙනෙකුට එයා කියලා රැවටෙනවා. එහෙම හිතලා බලනකොට ඒ ඉන්නේ එයා නොවන නිසා විශාල වේදනාවකට පත්වෙනවා. සමහර වෙලාවට වෙන්වුණු පුද්ගලයාගේ කටහඬ ඇහෙනව වගේ දැනෙනවා. මේ වගේ අවස්ථාවල සිතට දැනෙන්නෙ විශාල වේදනාවක්. තවත් සමහර වෙලාවට තමාව හැර ගිය පුද්ගලයා ගැන ලොකු තරහක් ඇති වන්නත් පුළුවන්. “එයාට එපා නම් මටත් එයාව ඕනෙ නෑ” කියලා හිතේ ලොකු තරහක් ඇති කර ගන්නෙ මේ වගේ වෙලාවට. නමුත් එහෙම කියන්නෙ ඇත්තටම එපා වීම නිසා නොවෙයි. ඒකත් වියෝදුක සමනය කර ගන්න මනස යොදන උපක්‍රමයක්. සමහරුන්ට තමන් ගැනම තරහක් දුකක් ඇති වෙනවා. ‘ආයෙමත් එයා මට හමු වෙන්නෙ නෑ. එයා වගේ කෙනෙක් ආයෙ කවදාවත් මට මුණ ගැහෙන්නෙ නෑ” කියා සිතමින් එයාගෙ නරක, දුර්ගුණ සේරම අමතක වෙලා වෙන් වූ පුද්ගලයාගේ හොඳ පමණක්ම සිතට නැගෙන්නට පටන් ගන්නවා. එයා සමග බැඳුණු අමිහිරි මතකයන් යටපත් වෙලා මිහිරි සුන්දර මතකයන් ගැනම පමණක් සිතන්නට පෙළැඹෙනවා. මෙහිදී ඉතා දැඩි තදබල වේදනාවක් සිතට දැනෙන්න පුළුවන්. වියෝ දුකෙන් පෙළෙන පුද්ගලයාගේ චරිත ස්වභාවය අනුවත්, ඔහු/ ඇය තුළ තමන්ගෙන් වෙන්ව ගිය පුද්ගලයා කෙරෙහි මනසින් තිබූ බැඳීම අනුවත්, ජානමය හේතූන් මතත් මේ වියෝදුක විශාද රෝගය (Depression) දක්වා දුර දිග යන්නත් පුළුවන්. ඒ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වීම මත සිය දිවි හානි කර ගැනීමට පවා පෙළැඹිය හැකියි. සමහරු තමන් හැර ගිය පුද්ගලයා කෙරෙහි තදබල වෛරයක් ඇති කරගෙන පළි ගැනීමට පෙළැඹෙනවා. බොහෝ විට මෙවැනි හේතූන් මත සමහරු ජීවිත හානි කිරීමට පවා යොමුවිය හැකි අතර ඒ තත්ත්වයට පත් වන්නේ සමාජ විරෝධී අදහස් තියන අය මිසක් හැමෝම නමෛයි. වියෝ දුකේ ප්‍රමාණය තීරණය වන්නේ වෙන් වූ පුද්ගලයා සමග තිබූ බැඳීමේ ප්‍රමාණය මතයි. සමහර වෙලාවට මසක් දෙකක් වැනි කෙටි කාලයක් බැඳී සිටි කෙනෙකුට වුවත් වෙන් වීම තුළින් මහා විශාල වියෝ දුකක් දැනෙන්න පුළුවන්. මේ වගේ කෙටිකාලයකට කොහොමද ඔච්චර දුකක් දැනෙන්නේ කියලා සමහරු මෙහිදී කියාවි. නමුත් එම බැඳීම තමන්ගේ සිතට දැනුණු ස්වභාවය අනුව මිසක් බැඳීම තිබූ කාලය අනුව වියෝ දුක තීරණය වන්නෙ නෑ. වියෝ දුකක් ඇති වුණාම එය සමනය කර ගැනීමට සමීප අයගෙන් උපකාර ලබා ගත යුතුයි. සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න බැරි නම් යථාර්ථයට මුහුණ දී දෙදෙනාගේම යහපත වෙනුවෙන් වෙන් වීම අකමැත්තෙන් වුණත් කරන්නට සිදු වෙනවා. විශේෂඥ වෛද්‍ය රූමි රූබන් සාකච්ඡා කළේ ඉන්දු පෙරේරා උපුටා ගැනීම ලක්බිම පුවත් පත.