ජල විදුලි බලයේ පියා වශයෙන් සැලකෙන ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර සූරීන්ගේ එකසිය තිස්‌හය වැනි ජන්ම සමරුව මෙම සැප්තැම්බර් 17 දාට යෙදී ඇත. මෙම ලිපිය පළවන්නේ ඒ වෙනුවෙනි.

මීට වසර එකසිය තිස්‌හයකට පෙර 1874 සැප්තැම්බර් මස දාහත් වැනි දින ගාල්ල ගල්වඩුගොඩ මුහම්දිරම්ගේවත්ත නමැති ග්‍රාමයේදී ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර උපත ලැබීය. ඔහුගේ සම්පූර්ණ නාමය වන්නේ දේව පුර ජයසේන විමල
සුරේන්ද්‍රයි. පියා ගාල්ලේ විසූ දොන් ජුවන් විමලසුරේන්ද්‍ර ජයසිංහ මුහම්දිරම්ය. මව වූයේ දෝන ක්‍රිෂ්ටිනා ජයසිංහයි.

විමලසුරේන්ද්‍රගේ පියතුමා ඇත්දත් කැටයම් ශිල්පයේ හා ස්‌වර්ණාභරණ නිෂ්පාදන ශිල්පයේ සම්ප්‍රදායික තාක්‌ෂණයේ උසස්‌ දැනුමක්‌ ලබා සිටියේය. ඔහු ශ්‍රේෂ්ඨ ගණයේ කලාකරුවෙක්‌ද විය. එදා එංගලන්තයේ වික්‌ටෝරියා මහා රාජිනියගේ රාජ්‍ය සමයේදී විමලසුරේන්ද්‍ර මහතාගේ පියාට "මුහම්දිරම්" යන ගෞරව නාමය හිමිවී තිබිණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විමලසුරේන්ද්‍ර දක්‌ෂතා රැසක්‌ පිරි දීප්තිමත් ශිෂ්‍යයෙක්‌ විය. ඔහු විද්‍යාව හා ගණිතය යන විෂයයන්ගෙන් විශිෂ්ට සම්මාන සහිතව නව කේම්බ්‍රිඡ් සීනියර් විභාගයෙන් උසස්‌ ලෙස සමත් විය.

1890 වර්ෂයේදී ආනන්ද විද්‍යාලයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී එයට සහභාගි වූ ප්‍රධාන ආරාධිතයා වූ කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ අතින් පාසලේ දක්‌ෂතම ශිෂ්‍යාට හිමි ත්‍යාගයද දිනා ගැනීමට විමලසුරේන්ද්‍ර සමත්විය.

ඉන්පසුව රජයේ කර්මාන්ත ශාලාවට බැඳී ඉංජිනේරු ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලැබූ ඔහු විවිධ යන්ත්‍ර සූත්‍ර, ආදර්ශයන් නිර්මාණය කොට ස්‌වකීය සහජ කුසලතාවන් දියුණු කර ගත්තේය. ඉන් අනතුරුව රජයේ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු අංශයට ඇතුළත් වී ඉගෙනුම ලබා 1892 වර්ෂයේදී පැවැති විභාගයෙන් ඉංජිනේරු අංශයේ ප්‍රථමයා ලෙසින් සමත් වූයේ ද මේ විමලසුරේන්ද්‍ර තරුණයාය.

ඊට පසු කලෙකදී ඉන්දියාවේ පැවැති ඒ. එම්. අයි. සී. ඊ. විභාගයෙන් ද මොහු සමත් විය. ඉන්පසුව ඔහුට දියතලාවේ කනිෂ්ඨ සහායක ඉංජිනේරු වරයකු ලෙසින් සේවය කිරීමට අවස්‌ථාව ලැබිණි. 1901 වර්ෂයේදී එවකට පැවැති රජයේ ඉංග්‍රීසි පාලකයන් විසින් ඔහුට පවරන ලද විශේෂ රාජකාරිය වූයේ මහා ඝන වනාන්තරයෙන් වැසීගිය අධික සීතලෙන් යුත් මධ්‍යම කඳුකරයේ භූමිය තුළ රත්රන්, මැණික්‌ වැනි ඛනිජ සම්පත් තිබේදැයි පරීක්‍ෂා කර බලා රජයට වාර්තා කිරීමයි. මෙම ගවේෂණ කටයුතු සඳහා ඔහුගේ සහායට ලබාදුන්නේ අප්‍රිකාවේ බෝයර් යුද්ධයෙන් පසුව ඉංග්‍රීසීන් විසින් ලංකාවට අල්ලාගෙන එන ලද ඉංජිනේරු දැනුමක්‌ ඇතිව සිටි සිරකරුවෙකි.

මේ සිරකරුවා සමඟ කැලණි ගංගා නිම්නයේ රත්රන්, මැණික්‌, වැනි ඛනිජ සම්පත් සොයමින් ගවේෂණයේ යෙදුණ විමලසුරේන්ද්‍රට හමුවූයේ ස්‌වභාවධර්මයේ අපූර්වතම නිර්මාණයක්‌ වූ ලක්‍ෂපාන හෙවත් වැඩිහිටි දිය ඇල්ලයි. ඊට පසු දිනෙක කෙහෙල්ගමු ගංගා නිම්නයේදී කෙහෙල්ගමු හෙවත් ඇබර්ඩීන් දිය ඇල්ල දැකගත හැකි විය.

මේ දිය ඇලි රිදී කඳන් ලෙස බිමට ඇද හැලෙන ආකාරය ඔවුහු බලා සිටියහ. මේ පොළොවෙහි රත්රං කෙසේ වෙතත් මේ දිය ඇල්ලේ නම් රත්රං තිබෙනවාමයි කියමින් දූරදර්ශීව විමලසුරේන්ද්‍ර සතුටින් තෙපලන්නට විය.

ගලා හැලෙන ජලයේ බලයෙන් ජලරෝද භ්‍රමණය කරවීමෙන් විදුලිය බලය උපදවාගත හැකි බැව් විමලසුරේන්ද්‍රයන්ට අවබෝධ විය.

1924 දී විමලසුරේන්ද්‍රගේ ජල විදුලි බල යෝජනා ක්‍රමය එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ද සම්මතවී එහි වැඩ ආරම්භ විය. එවකට දිවයිනේ සිටි විදේශීය ඉංජිනේරුවන්ගේ හා පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුකොට ගෙන මෙම ජල විදුලි යෝජනා ක්‍රමය කඩින් කඩ නවතා දැමීමට සිදුවිය. මෙය හරියාකාරව කරගෙන යැමට නම් රටේ පවත්නා දේශපාලන ව්‍යqහයට තමන්ද ඒකාබද්ධ විය යුතු බැව් විමලසුරේන්ද්‍රට අවබෝධ විය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔහු 1931 දී රත්නපුර මන්ත්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය.

1950 දී කෙහෙල්ගමුඔය නෝර්ටන් ප්‍රදේශයේදී (අද විදුලිපුර) ගල්කඳු දෙකක්‌ අතර මහා කොන්ක්‍රීට්‌ වේල්ලක්‌ ඉදිකිරීමෙන් හරස්‌ කරන ලදී. මහා ජල කඳ අඩි 9400 ක්‌ තරම් දිග උමඟයක්‌ තුළින් ඩබල්කටින් කන්දට යටින් ගමන්කොට කැළඹුම් ළිඳට වැටී එතැන් සිට නල මාර්ග හතරක්‌ දිගේ තවත් අඩි 6000 ක්‌ තරම් පහළට ගමන්කොට මස්‌කෙළිය ඔයේ දකුණු ඉවුරේ ඇති ජල විදුලි බලාගාරයේ තලබවන යන්ත්‍ර ක්‍රියාත්මක වෙයි. එය ලක්‌ෂපාන ජල විදුලි ව්‍යාපෘතියේ පළමු පියවරයි.

ජල විදුලි බලය ලබාගත් මංගල මොහොතේදී විමලසුරේන්ද්‍ර ශූරීන්ට ඇතිවූ චිත්ත සන්තෘෂ්ඨිය වචනයෙන් කියා නිම කළ නොහැකි වූ බැව් එතුමා ප්‍රකාශ කර ඇත.

ඒ මෙසේය. "මා විසින් සැළසුම් කොට ආරම්භ කරන ලද විදුලිබල යෝජනා ක්‍රමයේ අනාගත ඉදිකිරීම් කටයුතුවලට සහභාගි වීමේ වාසනාව මට නොලැබී ගියද මගේ රටේ ජනතාව විසින් මෙහි නිසි ඵල නෙළා ගැනීම දැකගන්නට ජීවතුන් අතර සිටීමට තරම් මා වාසනාවන්ත වීම පිළිබඳ මම උද්දාමයට පත්වෙමි. ප්‍රීතිවෙමි. සතුටුවෙමි. මා විසින් මීට වසර 50 කට පමණ පෙර අවලෝකනය කළ අරුණාලෝකය මාගේ ජීවිතයේ මේ සැඳෑ සමයේදී හෝ දැක බලා ගැනීමට හැකිවීම ගැන මම ඉතාමත් උදම් වෙමි. අමිල වූ සතුටක්‌ මම ලබන්නෙමි.

මීට වසර සියයකට පමණ පෙර සිහිනයක්‌ව පැවැති ජල විදුලි බලය පිළිබඳව විමලසුරේන්ද්‍රයාණෝ අනාගතය දෙස බලා සැලසුම් සකස්‌ කළහ. ලක්‌ෂපාන, නවලක්‌ෂපාන, විදුලිපුර, පොල්පිටිය. කැණියොන්. පොල්ගොල්ල, බෝවතැන්න, රන්ටැඹේ, රන්දෙණිගල, වික්‌ටෝරියා, කොත්මලේ, බලංගොඩ, කුකුලේගඟ, සමනළ හා දැනට වැඩ නිවමෙමින් පවතින ඉහළ කොත්මලේ ආදී ජල විදුලි බලාගාරද, අනිකුත් කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර සියල්ලද විමලසුරේන්ද්‍ර චින්තනයේ ප්‍රතිඵල වන්නේය.

අධික වියදමක්‌ දැරිය යුතු ගල් අඟුරු, ඩීසල්, තෙල් ආදී ඉන්ධන නොයොදා ස්‌වාභාවික සම්පතක්‌ වූ ජලයේ බලය උපයෝගි කරගෙන ජල විදුලිය නිපදවීමේ ගෞරවය හිමිවන්නේද විමලසුරේන්ද්‍ර සූරීන්ටය.

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ආශ්චර්යවත් කොම්බුහැඩයේ වක්‌ දුම්රිය මාර්ගය සැළසුම් කිරීමත්, ගාලු නගරයට ප්‍රථම වරට විදුලිය ලබාදීමත්, රත්නපුරයේ පිඟන් මැටියෙන් ශ්‍රී ලංකාව තුළ පිඟන් භාණ්‌ඩ නිෂ්පාදනයට කටයුතු කිරීමත්, රබර් ආශ්‍රිත කාර්මික භාණ්‌ඩ නිෂ්පාදනයට මඟපෙන්වා දීමත්. විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැළසුම් සකස්‌ කිරීමත් විමලසුරේන්ද්‍ර සූරීන්ගේ දක්‌ෂතාවලින් කීපයක්‌ පමණයි.

බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක්‌ බඳු වූ අනුරාධපුරයේ ස්‌වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන්ගේ කොත් කැරැල්ල නිර්මාණය කිරීමේ ඉංජිනේරු තාක්‌ෂණය ද විමලසුරේන්ද්‍ර මහතාගේ ඥානයේ බලමහිමය වන්නේය.

චූඩාමාණික්‍යය සහිත අඩි විසිහතරක්‌ උස්‌ වූ මෙම දර්ශනීය රන් ආලේපිත කොත් වහන්සේ චෛත්‍ය මුදුනෙහි පැළඳවීමේ උතුම් වූ මහෝත්සවයට ද විමලසුරේන්ද්‍රයාණෝ සහභාගි වූහ.

රටට, ජාතියට, අමිල සේවයක්‌ කළ විමලසුරේන්ද්‍ර සූරීන් 1953 දී අප අතරින් සදහටම සමුගත්තේය. ඒ වනවිට ඔහු 79 වැනි වියෙහි පසුවිය. විමලසුරේන්ද්‍ර සූරීන්ට උපහාරයක්‌ වශයෙන් නෝර්ටන් විදුලිපුර ජලාශය එහා කෙළවරේ ඉදිකර ඇති ජල විදුලි බලාගාරය "විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය" නමින් නම්කර තිබේ