Kalo Fonseka will give 1 Million to someone who has a mysterious power 

මෙකුට ගුප්ත ශක්තියක් තිබෙන බවට ඔප්පු කිරීමට හැකි වුවහොත් එම පුද්ගලයාට රුපියල් මිලියනයක් (ලක්ෂ 10ක්) ලබා දෙන 
බව මාහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. මේ සඳහා අභියෝග 12ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් එකක් හෝ ඔප්පු කර පෙන්වීමට සමත් වුවහොත් මෙම මුදල ලබාගැනීමට ප්‍රමාණවත් ඇතැයි කාලෝ ෆොන්සේකා මහතා වැඩි දුරටත් කියා තිබෙනවා.

අභියෝග ජයගැනීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයින් ඒ සඳහා රුපියල් 10,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතුය.

මෙම අභියෝගය ජයගන්නා පුද්ගලයාට පිරිනැමීමට නියමිත රුපියල් ලක්ෂ දහයේ මුදල මේ වන විටත් සණස බැංකුවේ ස්ථාවර ගිණුමක තැන්පත් කොට ඇත.


කාලෝ ෆොන්සේකා මහතා ලබාදී ඇති අභියෝග 12 මෙසේය.

01. දැවෙන ගිනි අඟුරු මත යටි පතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගෙන සිටීම.

02. ලියුම් කවරයක් තුළ දමා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්‍ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම.

03. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන ලංකාවේ වලංගු මුදල් නෝට්‍ටුවක් මවා පෙන්වීම.

04. විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන කෙනෙකු විසින් පදවනු ලබන වාහනයක් "ගුප්ත බලයකින්" නතර කිරීම.


05. ආධ්‍යාත්මික හෝ වෙනත් ගුප්ත බලයක් හෝ උපයෝගී කරගෙන විනිශ්චය විසින් නියම කරනු ලබන වස්තුවක් අතුරුදහන් කිරීම.

06. විනිශ්චය මණ්ඩලය විසින් දෙන ද්‍රව්‍යක බර යටත් පිරිසෙන් 10%කින් වැඩි කිරීම හෝ අඩු කිරීම.

07. විනිශ්චය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යක් ගුප්ත බලයකින් ගොඩහැනීම (උදා:- තරඟකරු විසින්ම පිළියෙල කළ "හූනියමක්" වුව කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩදිය නොහැක්කේ එහිදී ඉලෙක්ට්‍රොනික උපාංග බාවිතා කළහොත් එය තරඟකරුගේ හාස්කමක් නොවන නිසාය.)


08. වතුර වයින් බවට හෝ පෙට්‍රල් ජලය බවට හෝ වයින් රුධිරය බවට හෝ පත් කිරීම.

09. හුදෙක්, විශ්ව ශක්ති බලට්යක් හෝ වෙනත් ගුප්ත බලයක් උපයෝගී කරගෙන හෝඅ විනිශ්චය මණ්ඩලය ඉදිරිපිටදී විනාඩි පහකට ලංකාව පුරා අන්තර්ජාලය (ඉන්ටර්නෙට්) අත්හි‍ටුවීම.

10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන් විට ඔවුන් සම්බන්ධව පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබා දීම.

(අ.) ස්ත්‍රී පුරුෂ භාවය (ආ.) ජ්හීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ.) ජීවතුන් අතර සිටීනම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද (ඉ.) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ෂයේදීද (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ සමාජ තත්වය, වෘත්තිය. ‍රැකියාව.

11. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අසාධ්‍ය තත්වයේ රෝගීන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකු ‍තෝරාගෙන (අප විසින් දස දෙනාට අදාළ ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබාදෙනු ඇත. කිසියම් නිශ්චිත කාලසීමවක් තුළදී ගුප්ත බලයක්, විශ්වශක්ති බලයක්, දේවාශීර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.

12. සම්පූර්ණ වශයෙන් දෑස් නොපෙනෙන හෝ ඇවිදීමට නොහැකි දස දෙනෙකු ඉදිරිපත් කළ විට (විනිශ්චය මණ්ඩලය විසින් දස දෙනාට අදාළ ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශ ආදී විස්තර ලබාදෙනු ඇත.) ඒ අතුරින් තරඟයෙන් ‍තෝරාගත් පස් දෙනෙකු ගුප්ත බලයක්, විශ්ව ශක්ති බලයක්, දේවාශීර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් කිසියම් නිශ්චිත කාලසීමාවක් තුළදී සම්පූර්ණයෙන් සුවපත් කිරීම.

(10,11 හා 12 සම්බන්ධව තරඟකරුවන්ට ජෝතිෂ්‍ය පොත්පත්, ලිත්, කැලැන්ඩර් හෝ පරිගණකයක් භාවිතා කළ හැක.)

ඔබටත් පුලුවන්ද ??
මෙම අභියෝගය බාරගැනීමට කිසියම් කෙනෙකු සූදානම් නම් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය, 226, සයිමන් දියෙස් මාවත, මාදුපිටිය, පානදුර යන ලිපිනයේ තාරක (072 7449599), අමුණුගොඩ (077 3119398), සූරපාල (077 7295200) යන මහත්වරුන්ට ඇමතිය හැකිය.