මේ දවස් වල ප්‍රධාන නගර වල අඩියෙන් අඩිය වෙසක් කූඩු විකුණනවා.සල්ලි තියනවා නම් රුපියල් 100 ඉදලා ඉහල ගණන් වලට වෛවාරණ වෙසක් කූඩු මිලට ගන්න පුලුවන්.කොච්චර ලස්සන උනත් පවුලේ අයත් එක්ක එකතු වෙලා ගෙදර හදන වෙසක් කූඩුවක වටිනාකම සල්ලි දීලා ගන්න කූඩුවක තියනවද? 

පුංචි කාලේ අපි කොච්චර සතුටක් ලැබුවද පවුලේ අයත් එක්ක ගෙදර වෙසක් කූඩු හදලා. අවුරුදු ඉවර වෙලා සතියක් යන්න කලින් අපි පටන් ගන්නවා වෙසක් කූඩු හදන්න(පුංචිම කාලේ නම් කලේ තාත්තා කූඩු හදන හැටි බලන් හිටිය එක).

මුල්ම වැඩේ තමා උණ පදුරක් හොයාගෙන ගිහින් හොද උණ බටයක් aඑන එක. ඊට පස්සේ හදන කූඩුව මොකද්ද කියලා තීරණය කරනවා,හැබැයි ඉතින් අටපට්ටමක් නම් අනිවාර්යෙන්ම හදනවා,අටපට්ටමේ අමුතුම ගාම්භීර ගතියක් තියනවා,හරියට වෙසක් කූඩු අතරෙ ප්‍රධානියා වගේ.

කූඩුවට අවශ්‍ය ගානට බට පතුරු කපලා දවසක් දෙකක් වේලෙන්න තියනවා,මොකද එහෙම කලේ නැත්නම් කූඩුව හැදුවට පස්සේ ඇද ගහන්න පුලුවන්.පස්සේ බකට් කම්බි/රබර් පටි/නූල් වගේ දේකින් කූඩුව බැද ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ කූඩුව අලවන්න.ගොඩක් වෙලාවට කරන්නේ සුදු පාටින් කූඩුව අලවන එක,කූඩු අලවන වැඩේට අක්කලා/නංගිලත් ගොඩක් උදව් කරනවා.

අන්තිමට කූඩු එල්ලලා තියලා වෙසක් දවසේ හවස 7ට විතර කූඩු වලට විදුලි ආලෝකේ සපයනවා. මහන්සි වෙලා හදපු කූඩුව පත්තු කරන ඒ වෙලාවේ හිතට පුදුම සන්තෝෂයක් එන්නේ,ගෙදර හැමෝගෙම මූනු වල පුංචි හිනා රැල්ලක් මතු වෙනවා ඒ වෙලාවට.
ඒ එන හැගීම කඩෙන් ගෙනත් පත්තු කරන කූඩුවකින් ලැබෙනවද කියන එක නම් සැකයි..