කොතරම් පාඩම් කලත් අමතක වෙනවද? 
මතකය වර්ධනය කරගන්න කැමතිද? 
මෙන්න ඒ සඳහා ක්‍රම සහ විදි.

ඕනෙම කෙනෙක් විභාගයකට සූදානම් වීමට ප්‍රථම තමාගේ මතක ශක්තිය හොඳ මට්ටමකට ගෙන ආයුතුයි. මේ සඳහා මතක වර්ධනය සඳහා වන දේවල් කරන්න අවශ්‍ය වනව. මතකය කියන්නෙ තොරතුරු සමූහයකට. මෙම තොරතුරු අපගේ ඇස, කණ, නාසය, දිව, සම යන සංවේදී අවයව පහෙන්ම ඇතුලු වෙනු ලබනව. නමුත් මෙසේ ඇතුලුවන සියලුදේම අපගේ මතකයේ රැදෙන්නෙ නැහැ.

ඇතම් තොරතුරු සුළු වේලාවක් මතකයේ රැඳී ඉවත්වෙනව. ඇතැම් තොරතුරු දීර්ඝ කාලයක් මතකයේ රැදෙනව. පරිසරයේ සිදුවෙන සියලුම දේවල් මතකයේ රැදුනොත් ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම උන්මත්තකයෙකු වනු ඇත. ස්වභාවයෙන්ම අපගේ මතක ගබඩාවේ පවතින තොරතුරු කාලයත් සමග අමතක වී යයි. එය එසේ සිදුවිය යුත්තක් සහ එය අතිශය සාමාන්‍ය දෙයක්ද වේ.‍ කෙසේවෙතත් විභාගයකට සූදානම් වන්නෙකුට ‍වගේම ඕනෑම අයෙකුට යම් තොරතුරු ප්‍රමාණයක් දීර්ඝකාලීනව තම මතකයේ තබාගැනීම අනිවාර්ය්‍ය වේ. මෙහිදී වැදගත් වන්නේ එම මතක තබා ගන්නා ලද තොරතුරු නැවත ස්මරණය(Recall) කිරීම සහ යාවත්කාලීන වීම සමග එම තොරතුරු දීර්ඝ කාලයක් නොනැසී මතක තබා ගැනීම(Retention). මෙසේ සඳහා සුවිශේෂ මතක වර්ධණ ක්‍රම රාශියක් අපිට අනුගමණය කරන්න පුලුවන්. හොදයි දැන් අපි බලමු ඒවා එකින් එක අරගෙන.

01: ඔබ අධ්‍යයනය කරන ලබනු දෙය සම්බන්දව ඔබගේ අවධානය(Attention) සම්පූර්ණයෙන් යෙදවීම.

මතකයේ ප්‍රධානම දේ තමයි අවධානය. ඔබට අවධානය නොමැතිව කිසිඳු දෙයක් ඉගෙනීමට නොහැකිය.යම් තොරතුරක් මුලින්ම කෙටි කාලීණ මතකට පවා ඇතුලත් වීමට අවධානය කියන දේ අවශ්‍ය වෙනව. ඔබ අවධානය යොදනු ලබන ප්‍රමාණය මත සහ ක්‍රම මත එම තොරතුරු කෙටි කාලීණ මතකයේ සිට දීර්ඝකාලීණ මතකයට යනු ලබන ප්‍රමාණය තීරණය වෙනව. උදාහරණයක් ගතහොත් ඔබ ඉතා ආසාවෙන් කැමතිම චිත්‍රපටයක් රසවිඳින කොට ඔබට අවට පරිසරය පිළිබඳ කිසිදු අවධාණයක් නොමැත. ඇතැම් විට කෙනෙකු ඔබට උස්හඬින් කතා කලද ඔබට එය නොඇසෙනු ඇත. මක්නිසාද යත් එම අවස්තාවේ ඔබගේ සම්පූර්ණ අවධාණය යොමු වී ඇත්තේ එම චිත්‍රපටයට නිසාවෙනි. මේ ආකාරයෙන් සම්පූර්ණ අවධාණය ඔබට ඉගෙනුම් කටයුතු සදහාද යෙදවිය හැකිනම් අනිවාර්යෙන්ම එම තොරතුරු ඔබගේ දීර්ඝ කාලීන මතකයේ රැදෙනු ඇත. කෙසේ වෙතත් ඔබ කරනු ලබන දෙය මත ඔබ කෙරේ ඇති උනන්දුවේ ප්‍රමාණය මත එය තීරණය වේ. ඔබ යම් දෙයක් කරන විට එය ඉහල අවධානයකින් කිරීමට අවශ්‍ය නම් එයට බාදා වෙන එනම් ඔබගේ අවධානය වෙනතකට යොමු වන දේවල් වලින් ඈත් වන්න. උදාහරණයක් වශයෙන් ඔබ යම් දෙයක් පාඩම් කරන විට රූපවාහිණිය, රේඩියෝව වැනි දේවල් වලින් ඈත් වෙන්න. කිසියම් කෙනෙක් කියනවානම් රූපවාහිණිය නරඹණ ගමන් සහ රේඩියෝවට සවන් දෙන ගමන් හොඳින් පාඩම් කල හැකිය කියා එය අමූලික බොරුවකි. මන්දයත් එවිට අපගේ සම්පූර්ණ අවධාණ කොටස් ‍වලට බෙදීයන නිසාවෙනි. මතකයෙහි ඉහල ‍ප්‍රතිඵල ලැබීමට නම් එක් වරකට එක්දෙයක් පමණක් කිරීම සුදුසුය.

02: එකිනෙකකට සමාකාර වන තොරතුරු සියල්ලක්ම කටපාඩම් කිරීමෙන් වලකින්න.

ඔබ යම් විශය කරුනක් ඉගෙනීමේදී එහි ඇති සියලුම ඉස්පිළි, පාපිළි ගානේ මතක තබා ගන්ට සහ එක දිගට එක හා සමාන විශය කරුණු රාශියක් කටපාඩම් කිරීමෙන් ඔබට නිසි ප්‍රතිඵල අත්නොවෙනු ඇත. කල යුත්තේ යම් දෙයක් පාඩම් කරණවිට එයට හැකිතරම් ආධාරක එක් කරගැනීම සහ එයට සම්බන්දව අභ්‍යාසයන්ගේ නිරත වීමයි. උදාහරණය දෙකක් සලකා බලමු.

01 ඔබ ජීව විද්‍යාවේ එන මිනිසාගේ ඇස සම්බන්දව පාඩම් කරණවායයි සිතමු.

මුලින්ම එයට අදාල විශය කරුණු සියල්ලක්ම කියවා. එහි ඇති රූප සටහන් පිළිබඳ ඔබගේ අවදානය යොමු කරන්න. මීළගට එහි ඇති රූප සටහන් බලාගෙන ‍කොලයක ඇඳ කොටස් නම් කරන්න. මෙය කිහිප විටක් සිදුකිරීම සුදුසුය. ඉන්පසුව එම රූප සටහන් මූලික ප්‍රභවය නොබලා අඳින්න. ඔබ එහි සම්පූර්ණයෙන් සාර්ථක වූ පසුවත් කිහිප විටක් වරින් වර මෙය කිරීම සුදුසුය. දැන් ඔබට එම විශය කරුණ සම්බන්දව යම් සබවාදී හැගීමක් දැනෙනුඇත. එවිට ඔබ නිරායාසයෙන්ම එහි අනෙකුත් විශය කරුණු ඉගෙනීමට යොමු වෙනු ඇත. සාමාන්‍යයෙන් වචන වලට වඩා ඉතා විශාල කාර්යයක් රූප මගින් සිදු කරයි. මෙම උදාහරණය මගින් මම උත්සාහ ක‍රේ යම් විශය කොටසක් පාඩම් කිරීමට පටන් ගත් විගසම සාම්ප්‍රදායික ආකාරයට එහි සෑම කොටසක්ම කිය‍වාගෙන යාම වෙනුවට හැකි තරම් එයට ආධාරක එක්කොට ගනිමින් එම කාර්යය යම් විනෝදයක් ගෙන දෙන ආකාරයට සිදුකරන ආකාරය ගැන මූලික හඳුන්වාදීමක් කරන්නයි.

02 ඔබ ගණිතයේ ත්‍රිකොණමිතිය ඉගෙන ගන්නවායයි සිතන්න.

ත්‍රිකෝණ මිතියේ විවිද සංකල්පයන් දක්නට ලැබේ ‍එම එක් එක් සංකල්ප ඉගෙන ගැනීමේදී එම එක් එක් සංකල්පයට අදාලව යම් අභ්‍යාස ප්‍රමාණයක් ඔබ කල යුතුය එවිට බොහෝවිට එක හා සමාන ගැටලු විසදීම සිදුවේ. නමුත් ඔබ ත්‍රිකෝණමිතියෙහි සියලුම සංකල්ප උගෙන ඇති නමුත් ඔබ සිදු කරන්නේ එක් සංකල්පයකට අදාල ගැටලු විසඳීම පමණක් නම් එහි ගැටලුවක් පවතී. එය ඔබම ඔබ විසින් රවට්ටාගැනීමකි. සිදුකල යුත්තේ ත්‍රිකෝණමිතියේ එන සියලුම සංකල්ප එකිනෙක සම්බන්ද කරමින් එන ගැටලු විසඳීම සහ ඔබ විසින්ම එවැනි ගැටලු නිර්මාණය කිරීමයි. එනම් ඉගෙනුම ක්‍රියා වලියේදී එයට ඔබ සක්‍රීයව දායක වීමයි. මෙසේ සිදුකරන විට සියලම විශය කරුණු හොඳින් මතකට ඇතුලු වීම වගේම එම කරුණු නැවත ස්මරණ හැකියාවද වැඩිදියුනු වීම සිදු වේ.

03: ඔබ මතක තබාගන්නා දේ සම්බන්දව යම් ක්‍රමාණුකූල සැලැස්මක්(Structure) පිළියෙල කර ගැනීම සහ කරුණු පෙළ ගැස්සවීම.

මෙහිදී කෙරෙනුයේ යම් තොරතුරු සමූහයක් වඩාත් සරල මෙන්ම ක්‍රමාණුකූල ආකාරයට පිලියෙල කිරීමයි.මෙහිදී සමාන තොරතුරු එක් ගොඩකට දැමීම, තොරතුරු දැක්වීම සඳහා වගු භාවිතය, රූප සටහන් භාවිතය විවිද වර්ණයන් යම් ක්‍රමාණුකූල පිළිවෙලකට බාවිතා කිරීම. කරුණූ ගොණු කිරීමේදී තරුලකුණු වෙනුවට හැකිතරම් ඉලක්කම් භාවිතය, ප්‍රස්තාර භාවිතය, බහුමාධ්‍ය භාවිතය(Multimedia) ඒ යටතට ඡලන රූප භාවිතය(Video) ශබ්ද(Sounds) භාවිතය හා අනෙකුත් තාක්ෂණික ක්‍රම ඉදිරිපත් කරන්න පුලුවනි. මෙය සරල උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.

1 ඔබ විද්‍යා විශයෙහි එන ජල චක්‍රය හදාරනවායයි සිතන්න.

ජල චක්‍රයේ එන සිද්ධාන්ත ඉතා සරලව අපිට රූප සටහනක් බාවිතයෙන් අපිට ඉදිරිපත් කරන්න පුලුවන් එවිට එහි සියලමු සිද්ධාන්ත යම් ක්‍රමාණුකූල ආකාරයකට සරලව අපිට මතක තියාගන්න පුලුවන් සහ ඉතා පහසුවෙන් එම කරුණු නැවත වේගයෙන් ස්මරණයක කරන්නටද හැකි වෙනව.

04: තාක්ෂණික ආධාරක භාවිතය සහ ආදේශික ආධාරක භාවිය.

මේ යටතට නවීණ ක්‍රම වන පටිගත කරන ලද හඬ පට වලට නැවත නැවත සවන්දීම, එම විශය කරුනට අදාලව වීඩියෝ පට බැලීම, යම් විශය කරුණක් යම් ගීතයක තාලයට අනුරූපීවන ලෙසට සකස්කොට ගැනීම හෝ විහිලුවකට ආදේශ කොට ගැනීම දක්වන්න පුලුවන්. මෙය ඉතාම සාර්තක ක්‍රමයක් විදියට මම පවුද්ගලිකව අත්දැකපු දෙයක්. ඉතා අපහසු විශය කොටස් මතක තබාගන්න මෙම ක්‍රමය භාවිතා කරන්න පුලුවනි.

05: නැවත සිහිගැන්වීම හා ප්‍රතිසංස්කරණය කිරීම.

මෙහිදී අප අධ්‍යයනය කරන ලද විශය කොටස් පසුව නැවත පරීක්ෂා කිරීම සිදු‍ කෙරේ. මෙය අපට එම කරුණු නැවත ආවර්ජනය කරමින් ක්‍රමාණුකූලව සහ පිලිවෙලකට ලිවීම මගින් කල හැකිය එහිදී යම් කරුනු ඔබට මතකයට නොපැමීමට පුලුවන්, එහිදී එම විශය කොටස් නැවත පරිශීලනය කිරීම කරීම සිදු කල හැකිය. ඉන්පසුවත් ඉහත ආකාරයට එම කරුණු ලිවීම මගින් දැනට ඔබට ධාරණය වී ඇති ප්‍රමාණය සම්බන්දව ඔබට නිශ්චිත අවබෝදක් ලබාගත හැකිය. මෙය සිහි කැඳවීමෙන් කිරීම එතරම් යෝග්‍ය නොවේ. මන්ද යත් අප අමතකයි කියා සිටින දේවල් ඇතැම් විට අපට පහසුවෙන් පිලිතුරු සැපයීමේදී ස්මරණය කල හැකිවා මෙන්ම මතකයයි සිතන දේවල් පහසුවෙන් ස්මරණය කල නොහැකි වීමයි. එම නිසා විශය කරුණු අධ්‍යයනයෙන් අනතුරුව නැවත නැවත ලිවීම ඉතාම හොඳ මතක තබා ගැනීමේ ක්‍රමයක් ලෙස ඉදිරි පත් කල හැකිය.

06: අධ්‍යයනය කරණලද දේවල් හා අලුතින් අධ්‍යයනය කරන දේවල් එකිනෙක සමග හැකි සෑම විටම සම්බන්දතා ගොඩනැගීම.

ඔබ කිසියම් අලුත්දෙයක් අධ්‍යයනය කරන්ට යන විට හැකි සෑම විටම ඊට අධාල වන්නාවූ ඔබ කලින් හදාරා ඇති සංකල්ප සහ අත්දැකීම් තුලින් ඒ දෙස බැලීම ඔබට නව සංකල්පය පහසුවෙන් හා වේගයෙන් තේරුම් ගැනීමට පහසු කරවනවා ඇත. එහිදී ඇති සම්බන්දතා දෙස බැලීමේදී ඇතැම් විට ඔබට එහි අලුතෙන් දෙයක් ඉගෙනීමට නොමැති වන්නට පුලුවන. හුදෙක් එය අලුත් නමක් යෙදූ හා නව ආකාරයකින් ඉදිරිපත් කරන ලද ඔබ පෙර උගෙන ගෙන ඇති සංකල්පම විය හැකිය.

07: හදාරා ඇති දේ යම් ක්‍රමාණුකූල ආකාරයට මනසින් චිත්‍රණය කිරීම(Visualize) හා රූපයට නැගීම.

ඇතැම් අවස්තාවලදී අපි නොදැනුවත්වම මෙය සිදු කරනු ලබයි උදාහරණයක් විදියට ඔබ නවකතාවක් කියවන විට එහි ඇති චරිත සහ සිදුවීම් මනසින් චිත්‍රරණය කරයි. මෙය අපගේ අධ්‍යාපණ කටයුතු සඳහාද භාවිතා කරන්න පුලුවන් උදාහරණයක් විදියට ජීව විද්‍යාවේ එන ජෛයිව පරිණාමය යන කොටසේදී ක්‍රමිකව මාණවයා විකාශනය වන ආකාරය අපිට මණසින් චිත්‍රණය කරන්න පුලුවන්. ඒ වගේම ඒ සම්බන්දව වන සියලුම විශය කරුණු අපිට තනි රූපයකට ගත හැකියි. මෙහිදී එම විශය කරුණු යම් ක්‍රමාණුකූල ආකාරයකට නැවත ස්මරණයක කිරීම සිදුවේ. මෙය නැවත නැවත කිරීමෙන් කෙටි කාලීන මතකයේ තිබෙන එම කොටස් දීර්ඝ කාලීන මතකයට ගමන් කිරීම ඉතා වේගයෙන් හා ස්තාවර ආකාරයෙන් සිදුවෙයි. ඒ වගේම එසේ පිලියෙල කරන ලද රූප සටහන් නිතර නිතර බැලීම වගේ දේවල් මේ ගණයට අයත් වේ.

08: ඔබ දන්නා දේ නොදන්නා කෙනෙකුට කියා දීම.

මෙමගින් තමන්ගේ ස්මරණ හැකියාව සහ ස්මරණය කරගන්නා ලද තොරතුරු නිවැරිදි හා ක්‍රමාණුකූල ආකාරයට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද ඔබ උගත් විශය කරුණු සම්බන්දව ඉතා ඉහල ස්තාවරත්යක් සහ ආත්ම විෂ්වාසයක් ඇති වේ.

09: වැඩි අවධානයක් අපහසු විශය කරුණු කෙරෙහි යොමු කිරීම.

ඔබට සාමාන්‍යයෙන් යම් දෙයක් වටහා ගැනීමට හා මතක තබාගැනීමට ගතයුතු ආයාශයට වඩා වැඩි ආයාශයක් යම් දෙයකට යොදවන්ට වෙනවානම් ඒ දෙය ඔබට අපහසු දෙයක් වීමට පුලුවන. මෙය ඔබ සිටින මානසික තත්වය අනුව වෙනස්වන්න පුලුවන්. මෙහිදී කල යුතු වන්නේ වැඩි අවධානයක් හා ඉහත සඳහන් විශේෂ ‍ඉගෙනුම් ක්‍රම හා මතක තබා ගැනීමේ ක්‍රම වැඩි වශයෙන් ඒ සඳහා යොදා ගැනීමයි. දින කිහිපයක් එසේ වැඩිපුර අභ්‍යාසයන්හි යෙදීමෙන් එම අපහසු විශය කොටස ඔබට ඉතා පහසු දෙයක් වනවා ඇත.

10: ඉගෙනුම් ක්‍රියාවලිය උදෙසා තමන්ගේම ක්‍රමයක් බාවිතා කිරීම.

එක් එක් පුද්ගලයන්ගේ දින චර්යාව, පෞරුෂය, රුචි අරුචිකම් එකිනෙකට වෙනස්ය එම නිසා ඒ ඒ පුද්ගලයාට වඩාත්ම ගැලපෙන දේ ආදේශ කරගත හැකිවන්නේ ඔහුටම පමණි. මෙය අධ්‍යයන ක්‍රියාවලියටද අදාල දෙයකි. ඇතමෙකුට පාඩම් කරණ ස්තාණය. පාඩම් කරන ආකාරය. පාඩම් කරණ වේලාව වැනි දේවල් තදින්ම එම ක්‍රියාවලියේ සාර්තකත්වයට හේතුවිය හැකිය. එම නිසා තමන්ට හරියටම ගැලපෙන ආකාරය තමන්ම තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. මෙහිදී ඇතැම් විට පාඩම් කිරීමට හා මතකය ඉහල දමාගැනීමට බාවිතා කරන දේවල් තමන්ටම සුවිශේෂී විය හැකිය. මෙහිදී ඇති වැදගත්ම දේ තමන් තමන්ටම සුවිශේෂී ලෙස අනුගමණය කරන දේවල් වලින් තමාට සාදනීය ප්‍රතිඵල උදාවී ඇතැයි යන සහතිකය තමාටම දීගත හැකි වීමයි.