RSS
කතා නොකරන හදවතක් තුල, කොයි තරම් නම් කතන්දර වේද...? ඒ කතන්දර කියන්නට ඔබටයි මේ මොහොත.......! ඔබ දන්නා දේ බෙදා ගන්න.....! නොදන්නා දේ දැනගන්න.....! එන්න .....! අප සමග එකතු වන්න......!

Wednesday, April 25, 2012

◄ ජීවිතය ගැන කණස්සල්ලෙන්ද? ►

"පොඩි එවුන් කියන්නේ හරියට මල් වගේ" ඕක අපි කවුරුත් අහල තියෙන කතාවක්. ඔහොම කියන්න එක හේතුවක් තමයි ඔහොම කියන ගොඩාක් අය ලස්සන ළමා කාලයක් අත් විඳලා, තමුන්ගේ ළමයින්ට සුන්ඳර ළමා කාලයක් අත් විඳින්න සලස්වපු අය වීම. ළමයින්ගේ හිත් මල් වගේ, ඒ අයගේ ජීවිත තියෙන්න ඕන සැහැල්ලුවෙන් පාවෙලා යන්න. ඒත් මේ කියන සුන්ඳර ළමා කාලය අත් නොවිඳින කොටසක් අපේ රටේ වගේම ලෝකේ පුරාමත් ඉන්නවා.

අපි අපේ ජීවිත වල නිතරම සුව පහසුව හොයනවා. ඒකේ වැරැද්දක් නෑ, කවුරුත් ආසයි ලස්සන ජීවිතයක් ගත කරන්න. ඒත් ජීවිතය අපායක් කියල කවුරු හරි හිතනවා නම් හරි කියනවා නම් හරි හිතන්න තමන්ට වඩා දහදුක් විඳින පිරිසක් තව මේ ලෝකේ ඉන්නවා කියලා.ඒ අයගේ ජීවිත එක සසඳලා බලද්දී ඔබ කොතරම් වාසනාවන්තද කියල ඔබටම හිතේවී. ඔබ කරන රැකියාව ගැන මොනම වෙලාවකවත් අවතක්සේරු කරන්නට එපා. මොකද මේ පුංචි ළමයි පාන් කෑල්ලක් කන්න විඳින මහන්සිය ඔයාලටම මේ ඡායාරූප වලින් පෙනෙන නිසා.

ඉතිං යාලුවනේ, ඔබ ජීවිතයේ නොලද දෙයක් ගැන තවමත් පසුතැවෙනවාද? එසේනම් මොහොතක් මේ කියපු දේවල් ගැන සිතන්න. තව දුරටත් ඔබට නොලැබුනු, මග හැරුණු, ඔබට නොලැබෙන, අයිති නොවන දේ ගැන සිතනවා වෙනුවට ඔබට ලැබී ඇති ජීවිතය උපරිමයෙන් විඳින්නට පුරුදු වන්න.



උපුටා ගැනීමකි : https://www.facebook.com/l0w3thna

කොතරම් පාඩම් කලත් අමතක වෙනවද?

කොතරම් පාඩම් කලත් අමතක වෙනවද? 
මතකය වර්ධනය කරගන්න කැමතිද? 
මෙන්න ඒ සඳහා ක්‍රම සහ විදි.

ඕනෙම කෙනෙක් විභාගයකට සූදානම් වීමට ප්‍රථම තමාගේ මතක ශක්තිය හොඳ මට්ටමකට ගෙන ආයුතුයි. මේ සඳහා මතක වර්ධනය සඳහා වන දේවල් කරන්න අවශ්‍ය වනව. මතකය කියන්නෙ තොරතුරු සමූහයකට. මෙම තොරතුරු අපගේ ඇස, කණ, නාසය, දිව, සම යන සංවේදී අවයව පහෙන්ම ඇතුලු වෙනු ලබනව. නමුත් මෙසේ ඇතුලුවන සියලුදේම අපගේ මතකයේ රැදෙන්නෙ නැහැ.

ඇතම් තොරතුරු සුළු වේලාවක් මතකයේ රැඳී ඉවත්වෙනව. ඇතැම් තොරතුරු දීර්ඝ කාලයක් මතකයේ රැදෙනව. පරිසරයේ සිදුවෙන සියලුම දේවල් මතකයේ රැදුනොත් ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම උන්මත්තකයෙකු වනු ඇත. ස්වභාවයෙන්ම අපගේ මතක ගබඩාවේ පවතින තොරතුරු කාලයත් සමග අමතක වී යයි. එය එසේ සිදුවිය යුත්තක් සහ එය අතිශය සාමාන්‍ය දෙයක්ද වේ.‍ කෙසේවෙතත් විභාගයකට සූදානම් වන්නෙකුට ‍වගේම ඕනෑම අයෙකුට යම් තොරතුරු ප්‍රමාණයක් දීර්ඝකාලීනව තම මතකයේ තබාගැනීම අනිවාර්ය්‍ය වේ. මෙහිදී වැදගත් වන්නේ එම මතක තබා ගන්නා ලද තොරතුරු නැවත ස්මරණය(Recall) කිරීම සහ යාවත්කාලීන වීම සමග එම තොරතුරු දීර්ඝ කාලයක් නොනැසී මතක තබා ගැනීම(Retention). මෙසේ සඳහා සුවිශේෂ මතක වර්ධණ ක්‍රම රාශියක් අපිට අනුගමණය කරන්න පුලුවන්. හොදයි දැන් අපි බලමු ඒවා එකින් එක අරගෙන.

01: ඔබ අධ්‍යයනය කරන ලබනු දෙය සම්බන්දව ඔබගේ අවධානය(Attention) සම්පූර්ණයෙන් යෙදවීම.

මතකයේ ප්‍රධානම දේ තමයි අවධානය. ඔබට අවධානය නොමැතිව කිසිඳු දෙයක් ඉගෙනීමට නොහැකිය.යම් තොරතුරක් මුලින්ම කෙටි කාලීණ මතකට පවා ඇතුලත් වීමට අවධානය කියන දේ අවශ්‍ය වෙනව. ඔබ අවධානය යොදනු ලබන ප්‍රමාණය මත සහ ක්‍රම මත එම තොරතුරු කෙටි කාලීණ මතකයේ සිට දීර්ඝකාලීණ මතකයට යනු ලබන ප්‍රමාණය තීරණය වෙනව. උදාහරණයක් ගතහොත් ඔබ ඉතා ආසාවෙන් කැමතිම චිත්‍රපටයක් රසවිඳින කොට ඔබට අවට පරිසරය පිළිබඳ කිසිදු අවධාණයක් නොමැත. ඇතැම් විට කෙනෙකු ඔබට උස්හඬින් කතා කලද ඔබට එය නොඇසෙනු ඇත. මක්නිසාද යත් එම අවස්තාවේ ඔබගේ සම්පූර්ණ අවධාණය යොමු වී ඇත්තේ එම චිත්‍රපටයට නිසාවෙනි. මේ ආකාරයෙන් සම්පූර්ණ අවධාණය ඔබට ඉගෙනුම් කටයුතු සදහාද යෙදවිය හැකිනම් අනිවාර්යෙන්ම එම තොරතුරු ඔබගේ දීර්ඝ කාලීන මතකයේ රැදෙනු ඇත. කෙසේ වෙතත් ඔබ කරනු ලබන දෙය මත ඔබ කෙරේ ඇති උනන්දුවේ ප්‍රමාණය මත එය තීරණය වේ. ඔබ යම් දෙයක් කරන විට එය ඉහල අවධානයකින් කිරීමට අවශ්‍ය නම් එයට බාදා වෙන එනම් ඔබගේ අවධානය වෙනතකට යොමු වන දේවල් වලින් ඈත් වන්න. උදාහරණයක් වශයෙන් ඔබ යම් දෙයක් පාඩම් කරන විට රූපවාහිණිය, රේඩියෝව වැනි දේවල් වලින් ඈත් වෙන්න. කිසියම් කෙනෙක් කියනවානම් රූපවාහිණිය නරඹණ ගමන් සහ රේඩියෝවට සවන් දෙන ගමන් හොඳින් පාඩම් කල හැකිය කියා එය අමූලික බොරුවකි. මන්දයත් එවිට අපගේ සම්පූර්ණ අවධාණ කොටස් ‍වලට බෙදීයන නිසාවෙනි. මතකයෙහි ඉහල ‍ප්‍රතිඵල ලැබීමට නම් එක් වරකට එක්දෙයක් පමණක් කිරීම සුදුසුය.

02: එකිනෙකකට සමාකාර වන තොරතුරු සියල්ලක්ම කටපාඩම් කිරීමෙන් වලකින්න.

ඔබ යම් විශය කරුනක් ඉගෙනීමේදී එහි ඇති සියලුම ඉස්පිළි, පාපිළි ගානේ මතක තබා ගන්ට සහ එක දිගට එක හා සමාන විශය කරුණු රාශියක් කටපාඩම් කිරීමෙන් ඔබට නිසි ප්‍රතිඵල අත්නොවෙනු ඇත. කල යුත්තේ යම් දෙයක් පාඩම් කරණවිට එයට හැකිතරම් ආධාරක එක් කරගැනීම සහ එයට සම්බන්දව අභ්‍යාසයන්ගේ නිරත වීමයි. උදාහරණය දෙකක් සලකා බලමු.

01 ඔබ ජීව විද්‍යාවේ එන මිනිසාගේ ඇස සම්බන්දව පාඩම් කරණවායයි සිතමු.

මුලින්ම එයට අදාල විශය කරුණු සියල්ලක්ම කියවා. එහි ඇති රූප සටහන් පිළිබඳ ඔබගේ අවදානය යොමු කරන්න. මීළගට එහි ඇති රූප සටහන් බලාගෙන ‍කොලයක ඇඳ කොටස් නම් කරන්න. මෙය කිහිප විටක් සිදුකිරීම සුදුසුය. ඉන්පසුව එම රූප සටහන් මූලික ප්‍රභවය නොබලා අඳින්න. ඔබ එහි සම්පූර්ණයෙන් සාර්ථක වූ පසුවත් කිහිප විටක් වරින් වර මෙය කිරීම සුදුසුය. දැන් ඔබට එම විශය කරුණ සම්බන්දව යම් සබවාදී හැගීමක් දැනෙනුඇත. එවිට ඔබ නිරායාසයෙන්ම එහි අනෙකුත් විශය කරුණු ඉගෙනීමට යොමු වෙනු ඇත. සාමාන්‍යයෙන් වචන වලට වඩා ඉතා විශාල කාර්යයක් රූප මගින් සිදු කරයි. මෙම උදාහරණය මගින් මම උත්සාහ ක‍රේ යම් විශය කොටසක් පාඩම් කිරීමට පටන් ගත් විගසම සාම්ප්‍රදායික ආකාරයට එහි සෑම කොටසක්ම කිය‍වාගෙන යාම වෙනුවට හැකි තරම් එයට ආධාරක එක්කොට ගනිමින් එම කාර්යය යම් විනෝදයක් ගෙන දෙන ආකාරයට සිදුකරන ආකාරය ගැන මූලික හඳුන්වාදීමක් කරන්නයි.

02 ඔබ ගණිතයේ ත්‍රිකොණමිතිය ඉගෙන ගන්නවායයි සිතන්න.

ත්‍රිකෝණ මිතියේ විවිද සංකල්පයන් දක්නට ලැබේ ‍එම එක් එක් සංකල්ප ඉගෙන ගැනීමේදී එම එක් එක් සංකල්පයට අදාලව යම් අභ්‍යාස ප්‍රමාණයක් ඔබ කල යුතුය එවිට බොහෝවිට එක හා සමාන ගැටලු විසදීම සිදුවේ. නමුත් ඔබ ත්‍රිකෝණමිතියෙහි සියලුම සංකල්ප උගෙන ඇති නමුත් ඔබ සිදු කරන්නේ එක් සංකල්පයකට අදාල ගැටලු විසඳීම පමණක් නම් එහි ගැටලුවක් පවතී. එය ඔබම ඔබ විසින් රවට්ටාගැනීමකි. සිදුකල යුත්තේ ත්‍රිකෝණමිතියේ එන සියලුම සංකල්ප එකිනෙක සම්බන්ද කරමින් එන ගැටලු විසඳීම සහ ඔබ විසින්ම එවැනි ගැටලු නිර්මාණය කිරීමයි. එනම් ඉගෙනුම ක්‍රියා වලියේදී එයට ඔබ සක්‍රීයව දායක වීමයි. මෙසේ සිදුකරන විට සියලම විශය කරුණු හොඳින් මතකට ඇතුලු වීම වගේම එම කරුණු නැවත ස්මරණ හැකියාවද වැඩිදියුනු වීම සිදු වේ.

03: ඔබ මතක තබාගන්නා දේ සම්බන්දව යම් ක්‍රමාණුකූල සැලැස්මක්(Structure) පිළියෙල කර ගැනීම සහ කරුණු පෙළ ගැස්සවීම.

මෙහිදී කෙරෙනුයේ යම් තොරතුරු සමූහයක් වඩාත් සරල මෙන්ම ක්‍රමාණුකූල ආකාරයට පිලියෙල කිරීමයි.මෙහිදී සමාන තොරතුරු එක් ගොඩකට දැමීම, තොරතුරු දැක්වීම සඳහා වගු භාවිතය, රූප සටහන් භාවිතය විවිද වර්ණයන් යම් ක්‍රමාණුකූල පිළිවෙලකට බාවිතා කිරීම. කරුණූ ගොණු කිරීමේදී තරුලකුණු වෙනුවට හැකිතරම් ඉලක්කම් භාවිතය, ප්‍රස්තාර භාවිතය, බහුමාධ්‍ය භාවිතය(Multimedia) ඒ යටතට ඡලන රූප භාවිතය(Video) ශබ්ද(Sounds) භාවිතය හා අනෙකුත් තාක්ෂණික ක්‍රම ඉදිරිපත් කරන්න පුලුවනි. මෙය සරල උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.

1 ඔබ විද්‍යා විශයෙහි එන ජල චක්‍රය හදාරනවායයි සිතන්න.

ජල චක්‍රයේ එන සිද්ධාන්ත ඉතා සරලව අපිට රූප සටහනක් බාවිතයෙන් අපිට ඉදිරිපත් කරන්න පුලුවන් එවිට එහි සියලමු සිද්ධාන්ත යම් ක්‍රමාණුකූල ආකාරයකට සරලව අපිට මතක තියාගන්න පුලුවන් සහ ඉතා පහසුවෙන් එම කරුණු නැවත වේගයෙන් ස්මරණයක කරන්නටද හැකි වෙනව.

04: තාක්ෂණික ආධාරක භාවිතය සහ ආදේශික ආධාරක භාවිය.

මේ යටතට නවීණ ක්‍රම වන පටිගත කරන ලද හඬ පට වලට නැවත නැවත සවන්දීම, එම විශය කරුනට අදාලව වීඩියෝ පට බැලීම, යම් විශය කරුණක් යම් ගීතයක තාලයට අනුරූපීවන ලෙසට සකස්කොට ගැනීම හෝ විහිලුවකට ආදේශ කොට ගැනීම දක්වන්න පුලුවන්. මෙය ඉතාම සාර්තක ක්‍රමයක් විදියට මම පවුද්ගලිකව අත්දැකපු දෙයක්. ඉතා අපහසු විශය කොටස් මතක තබාගන්න මෙම ක්‍රමය භාවිතා කරන්න පුලුවනි.

05: නැවත සිහිගැන්වීම හා ප්‍රතිසංස්කරණය කිරීම.

මෙහිදී අප අධ්‍යයනය කරන ලද විශය කොටස් පසුව නැවත පරීක්ෂා කිරීම සිදු‍ කෙරේ. මෙය අපට එම කරුණු නැවත ආවර්ජනය කරමින් ක්‍රමාණුකූලව සහ පිලිවෙලකට ලිවීම මගින් කල හැකිය එහිදී යම් කරුනු ඔබට මතකයට නොපැමීමට පුලුවන්, එහිදී එම විශය කොටස් නැවත පරිශීලනය කිරීම කරීම සිදු කල හැකිය. ඉන්පසුවත් ඉහත ආකාරයට එම කරුණු ලිවීම මගින් දැනට ඔබට ධාරණය වී ඇති ප්‍රමාණය සම්බන්දව ඔබට නිශ්චිත අවබෝදක් ලබාගත හැකිය. මෙය සිහි කැඳවීමෙන් කිරීම එතරම් යෝග්‍ය නොවේ. මන්ද යත් අප අමතකයි කියා සිටින දේවල් ඇතැම් විට අපට පහසුවෙන් පිලිතුරු සැපයීමේදී ස්මරණය කල හැකිවා මෙන්ම මතකයයි සිතන දේවල් පහසුවෙන් ස්මරණය කල නොහැකි වීමයි. එම නිසා විශය කරුණු අධ්‍යයනයෙන් අනතුරුව නැවත නැවත ලිවීම ඉතාම හොඳ මතක තබා ගැනීමේ ක්‍රමයක් ලෙස ඉදිරි පත් කල හැකිය.

06: අධ්‍යයනය කරණලද දේවල් හා අලුතින් අධ්‍යයනය කරන දේවල් එකිනෙක සමග හැකි සෑම විටම සම්බන්දතා ගොඩනැගීම.

ඔබ කිසියම් අලුත්දෙයක් අධ්‍යයනය කරන්ට යන විට හැකි සෑම විටම ඊට අධාල වන්නාවූ ඔබ කලින් හදාරා ඇති සංකල්ප සහ අත්දැකීම් තුලින් ඒ දෙස බැලීම ඔබට නව සංකල්පය පහසුවෙන් හා වේගයෙන් තේරුම් ගැනීමට පහසු කරවනවා ඇත. එහිදී ඇති සම්බන්දතා දෙස බැලීමේදී ඇතැම් විට ඔබට එහි අලුතෙන් දෙයක් ඉගෙනීමට නොමැති වන්නට පුලුවන. හුදෙක් එය අලුත් නමක් යෙදූ හා නව ආකාරයකින් ඉදිරිපත් කරන ලද ඔබ පෙර උගෙන ගෙන ඇති සංකල්පම විය හැකිය.

07: හදාරා ඇති දේ යම් ක්‍රමාණුකූල ආකාරයට මනසින් චිත්‍රණය කිරීම(Visualize) හා රූපයට නැගීම.

ඇතැම් අවස්තාවලදී අපි නොදැනුවත්වම මෙය සිදු කරනු ලබයි උදාහරණයක් විදියට ඔබ නවකතාවක් කියවන විට එහි ඇති චරිත සහ සිදුවීම් මනසින් චිත්‍රරණය කරයි. මෙය අපගේ අධ්‍යාපණ කටයුතු සඳහාද භාවිතා කරන්න පුලුවන් උදාහරණයක් විදියට ජීව විද්‍යාවේ එන ජෛයිව පරිණාමය යන කොටසේදී ක්‍රමිකව මාණවයා විකාශනය වන ආකාරය අපිට මණසින් චිත්‍රණය කරන්න පුලුවන්. ඒ වගේම ඒ සම්බන්දව වන සියලුම විශය කරුණු අපිට තනි රූපයකට ගත හැකියි. මෙහිදී එම විශය කරුණු යම් ක්‍රමාණුකූල ආකාරයකට නැවත ස්මරණයක කිරීම සිදුවේ. මෙය නැවත නැවත කිරීමෙන් කෙටි කාලීන මතකයේ තිබෙන එම කොටස් දීර්ඝ කාලීන මතකයට ගමන් කිරීම ඉතා වේගයෙන් හා ස්තාවර ආකාරයෙන් සිදුවෙයි. ඒ වගේම එසේ පිලියෙල කරන ලද රූප සටහන් නිතර නිතර බැලීම වගේ දේවල් මේ ගණයට අයත් වේ.

08: ඔබ දන්නා දේ නොදන්නා කෙනෙකුට කියා දීම.

මෙමගින් තමන්ගේ ස්මරණ හැකියාව සහ ස්මරණය කරගන්නා ලද තොරතුරු නිවැරිදි හා ක්‍රමාණුකූල ආකාරයට ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද ඔබ උගත් විශය කරුණු සම්බන්දව ඉතා ඉහල ස්තාවරත්යක් සහ ආත්ම විෂ්වාසයක් ඇති වේ.

09: වැඩි අවධානයක් අපහසු විශය කරුණු කෙරෙහි යොමු කිරීම.

ඔබට සාමාන්‍යයෙන් යම් දෙයක් වටහා ගැනීමට හා මතක තබාගැනීමට ගතයුතු ආයාශයට වඩා වැඩි ආයාශයක් යම් දෙයකට යොදවන්ට වෙනවානම් ඒ දෙය ඔබට අපහසු දෙයක් වීමට පුලුවන. මෙය ඔබ සිටින මානසික තත්වය අනුව වෙනස්වන්න පුලුවන්. මෙහිදී කල යුතු වන්නේ වැඩි අවධානයක් හා ඉහත සඳහන් විශේෂ ‍ඉගෙනුම් ක්‍රම හා මතක තබා ගැනීමේ ක්‍රම වැඩි වශයෙන් ඒ සඳහා යොදා ගැනීමයි. දින කිහිපයක් එසේ වැඩිපුර අභ්‍යාසයන්හි යෙදීමෙන් එම අපහසු විශය කොටස ඔබට ඉතා පහසු දෙයක් වනවා ඇත.

10: ඉගෙනුම් ක්‍රියාවලිය උදෙසා තමන්ගේම ක්‍රමයක් බාවිතා කිරීම.

එක් එක් පුද්ගලයන්ගේ දින චර්යාව, පෞරුෂය, රුචි අරුචිකම් එකිනෙකට වෙනස්ය එම නිසා ඒ ඒ පුද්ගලයාට වඩාත්ම ගැලපෙන දේ ආදේශ කරගත හැකිවන්නේ ඔහුටම පමණි. මෙය අධ්‍යයන ක්‍රියාවලියටද අදාල දෙයකි. ඇතමෙකුට පාඩම් කරණ ස්තාණය. පාඩම් කරන ආකාරය. පාඩම් කරණ වේලාව වැනි දේවල් තදින්ම එම ක්‍රියාවලියේ සාර්තකත්වයට හේතුවිය හැකිය. එම නිසා තමන්ට හරියටම ගැලපෙන ආකාරය තමන්ම තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. මෙහිදී ඇතැම් විට පාඩම් කිරීමට හා මතකය ඉහල දමාගැනීමට බාවිතා කරන දේවල් තමන්ටම සුවිශේෂී විය හැකිය. මෙහිදී ඇති වැදගත්ම දේ තමන් තමන්ටම සුවිශේෂී ලෙස අනුගමණය කරන දේවල් වලින් තමාට සාදනීය ප්‍රතිඵල උදාවී ඇතැයි යන සහතිකය තමාටම දීගත හැකි වීමයි.

◄◄◄ බක්මහ අකුණු ►►►

මේ දවස්වල ඔයාලා හැමෝම වගේ අකුණු සැර ගැන රූපවාහිනියේ දැනුවත් කිරීම් දකින්න ඇති. සමකය ආසන්නයේ මේ දවස් වල කැටි වලාකුළු පිරුණු ස්ථරයක් පැවතීම නිසා තමයි මේ වගේ අකුණු ගැසීම් වැඩිම ප්‍රමාණයක් වාර්තාවෙන කාලයක් බවට මේ දින කිහිපය පත් වෙලා තියෙන්නේ. ඉතිං අපි හිතුවා අපිත් සොයා ගත්තු කරුණු කාරණා ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ ටික කියවලා කාගේ හරි ජීවිත අවධානමක් වලක්වා ගත්තොත් ඒක තමයි අපේ සතුට.
ගෙරවීම් සහිත අකුණු ඇතිවන වේලාවකදී පහත දැක්වෙන දේවල් අනුගමනය කරොත් අපි කාගෙත් ජීවිත ආරක්‍ෂා වේවි.
1.නෑම, රෙදි සේදීම වැනි ජලයත් සමඟ ගනුදෙනු කරන ක්‍රියාකාරකම් කිරීමෙන් වළකින්න.
2.වැස්සට තෙමී ගෙදර පැමිණියානම් වහාම ඔබගේ සිරුරේ ඇති තෙත ගතිය ඉවත් කරගන්න.
3.හොඳින් දොර ජනෙල් වැසූ ගොඩනැගිල්ලකට වී එලිමහනේ ගැවසීමෙන් වළකින්න.
4.නිවසේ සිටී නම් බිත්ති වලින්, විදුලි උපකරණ වලින් ඈත්වී ඇඳට වී සිටින්න.
5.විශාල පිරිස් ගැවසෙන ස්ථාන වලින් හැකිතාක් මිදී තනිව සිටීමට උනන්දු වන්න.
6.කඳු, වහලවල් මුදුන් වැනි උස් ස්ථාන වල ගැවසීමෙන් වළකින්න.
7.ගංගා, ඇල දොල, පිහිනුම් තටාක වැනි ස්ථාන වලින් වහාම ඉවත් වන්න.
8.ස්ථාවර දුරකථන(රැහැන් සහිත) භාවිතයෙන් වළකින්න.
9.ඇන්ටනා වයරය නිවසින් පිටතට සිටින සේ ගලවා තබන්න.
10.ශීතකරණ භාවිතයෙන් සහ ලඟ රැඳී සිටීමෙන් වළකින්න.
11.පරිඝනකය හෝ අන් කිසිම විදුලි උපකරණයක් භාවිතයෙන් වළකින්න.
12.සුරතල් සතුන් සිටීනම් ඔවුන් දම්වැල් වලින් පන්නා නිවස තුළ තබා ගන්න.
13.ඔබ වාහනයක ගමන් කරන්නේ නම් වීදුරු හොඳින් වසා ගන්න.
14.ගස් මුදුන් යට වැස්සෙන් ආරක්‍ෂා වීමට කිසිවිට නොරැඳෙන්න.
15.අකුණු ගැසීම් වැඩි නම් හැකි ඉක්මනින් නිවසේ ප්‍රධාන පරිපථය (main switch) විසන්ධි කරන්න.
16.වැසි කලාපයේ සිට 16KM ඈතින් ඔබ සිටියා වුවද ඔබ සිටිනුයේ අවධානම් කලාපයේ බව ඔබ දන්නවාද? අකුණු ආලෝකය සහ ගෙරවීම් හඬේ කාල පරතරය තත්පර 15ට අඩුනම්, ඔබ අනාරක්‍ෂිත කලාපයේ බව සිහි තබා ගන්න.
පෙර සූදානම පසු කලකිරීමට වඩා හොඳයි නේද?

----
උපුටා ගැනීමකි - https://www.facebook.com/l0w3thna

Monday, April 16, 2012

ආදරණීය පියවරුනට මෙය උපහාරයක්ම වේවා !

දරණීය පියවරුනට මෙය උපහාරයක්ම වේවා !
මේ ගීතය මට මතක ඇති කාලෙකදි මම අහුවෙ දෙතුන් සැරයයි. ඒත් පද හොදටම මට හුරුයි. හොදට පාඩම්. ඊටත් වඩා මේ ගීතය අහද්දි මට දැනෙන්නෙ පිරිමි කෙනෙක් කියනවා වගේ. හරිම පුදුමයි. මටම හිතා ගන්න බෑ ඒ ගැන. මේ ගීතය අහන සෑම විටම මට සුජාතා අත්තනායකට එහා ගියපු කට හඩක් ඇහෙනවා. හරියට මනස ඇතුලේ දෝංකාර දෙනව වගේ. මීට වසර කිහිපයකට කලින් ඊට හේතුව මට වැටහුනා. මේ එම හේතුව මා දැනගත් මොහොතේ කාතාවයි..

දවසක් මම මේ ගීතය ටිකක් සද්දෙට දාගෙන රසවින්දනය කරමින් ඉන්න විටදි මට පේනවා අපේ අම්මා මිදුල අතුගාමින් හෙමීට මේ ගීතය ගයනවා. ඇය හරි ආසාවෙන් සතුටින් ගීතය ගායනා කරනවා. මිදුල අතුගාන්නෙත් ගීතයේ තාලයට. හරිම ලස්සනයි. ඇයගේ දැහැනට බාධා නොකර මම බලාගෙන හිටියා. ටික වෙලාවකින් ගීතය අවසන් උනා. ඇය දැහැනෙන් මිදී, ඇගේ පාඩුවෙ යළිත් මිදුල අතුගානවා. මට ඒ සුන්දර දසුන තවත් විදින්න ඕනමයි. මම ආයෙත් ගිහින් මේ ගීතයම දැම්මා. හෙමීට මිදුලට පැත්තට සේන්දු වෙන්න හදකොටම මෙන්න අම්ම ඇවිත් මගේ ලග.

ඔයා ඔය ගීතයට ගොඩාක් ආසද?

ඔව් අම්මෙ ඇයි?

පුතේ පුතා ඉපදුනාට පස්සෙ පුතා ගොඩාක් අසනීප උනා. පුතාගෙ පපුවෙ සෙම. ඔයාට අවුරුද්දක් වෙනකල් ඔයා නිතරම හිටියෙ ඉස්පිරිතාලෙ. ඉස්පිරිතාලෙන් ගෙදර ආවම ඔයා කොයිවෙලේත් අඩන එක තමා කරන්නෙ. නිදා ගන්නෙම නෑ. මට නම් වෙලාවකට තරහත් එනව. අඩනව අඩනව ඉවරයක් නෑ. මට බෑ ඔයාව නලවගන්න. ඒ වෙලාවට පුතේ තාත්ත පුතාව අරගෙන සින්දුවක් කිය කිය ගේ වටේ ඇවිදිනවා. ඔන්න ඉතින් පුතා නිදි. ඉතින් මෙහෙම ඇවිදල ඇවිදල තාත්ත හෙමීට ගෙනත් ඔයාව මගේ ලගින් තියනවා. කොහෙද ඔයා අයෙ බෙරිහන් දෙනවා. තාත්ත ආයෙ ඔයාව අරගෙන ඇවිදිනවා. සමහර දවස්වලට මට නින්ද ගිහින්. ඒත් පුතේ තාත්ත ඔයාව වඩාගෙන සාලෙන් කුස්සියටයි, කුස්සියෙන් සාලෙටයි සින්දු කිය කිය ඇවිදිනවා.

අපි කොහොම හරි පුතාව බේරගත්තා. ඔන්න ඔයාට අවුරුදු දෙකක් තුනක් විතර වෙනකොට උදේ පාන්දරම නැගිටිනවා. කෑ ගහල අඩනවා. තාත්ත කරන්නෙ ඔයාව අරගෙන එයාගෙ බඩ උඩින් තියාගෙන ආයෙ ඔයා නිදා ගන්නකල් සින්දු කියනවා. ඔයා රෑට නිදි කරවන්න අපි කාටවත් බෑ. මටනම් කොහොමටවත් බෑ. තාත්ත කීයට හරි ගෙදර එනකල් ඔයා අවදියෙන්. ගෙදර එකම යුද්ධයයි. තාත්ත ගෙට එන්නෙම කෝ මගේ පුතා කියල සින්දුව කියාගෙන, ඇවිත් ඔයාව බඩ උඩ තියාගෙන සින්දු කියනකොට තමා ඔයා නිදියන්නෙ. අපි කන්නෙ බොන්නෙ ඊට පස්සෙ. වෙලාවකට අපිට හරි ආස හිතෙනවා ඔයා තාත්ත සින්දු කියනකොට ඒ තාලෙට කෙදිරි ගගා තමා නිදියන්නෙ. මම වෙලාවකට කියනව මෙයා ගිය ආත්මෙ ගායකයෙක්ද කොහෙදො කියලත්.

ගොඩාක් දවස් වලට පාන්දර 2ට 3ට විතර ඔයා අවදි වෙනවා. අවදිවෙලා යටිගිරියෙන් කෑ ගහල අඩනවා. තාත්ත මහන්සි වෙලානේ ගෙදර එන්නෙ. ඉතින් එයා පව් කියල හිතල මම ඔයාව අරගෙන අනිත් කාමරයට යනවා. කොහෙද කිරිටික බොනකල් ඔයා ඉන්නවා. ඊට පස්සෙ ඔයා අඩනවා. ඔන්න තාත්තට ඇහුනගමන් දුවගෙන එනවා. මටත් තාත්තගෙ අම්මටත්(ආච්චි) හොදටම බනිනවා. උඹල කොල්ල අඩවනවා කියල. අපෙන් ඔයාව අරගෙන ගිහින් ආයෙ එයාගෙ බඩ උඩ තියාගෙන සින්දු කියනවා. ඔයත් ඒ තාලෙටම ටික වෙලාවක් කෙදිරි ගානවා. බෙරිහන් දීදී අඩපු ඔයා මෙන්න නිදි.

මට මතකයි එක දවසක් තාත්ත කොළඹ ගියා වැඩ වගයකට. එදා ඔයා අඩපු තරමක්. හුස්ම ගන්නෙවත් නැතිව අඩනවා. අපි බැරිම තැන ඔයාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා. ඩොක්ටර් කියනවා මේක ලෙඩක් නෙමෙයි කියලා. කොහොම හරි එහෙදි බෙහෙත් දීල නිදි කරවලා ඔයාව එක්කරගෙන ආවා. ගෙදර ගෙනත් පැයක් නිදන්න ඇති ඔයා ආයෙ අවදි වෙලා අඩනවා. මම දන්න විදියට සින්දු කිව්වට ඔයාට හරියන්නෙ නෑ. කොහොම හරි වෙලාවට තාත්ත ආවා. අනේ කොළඹ ඉදල ආපු මහන්සියවත් බලන්නෙ නැතිව ඔයාව බඩ උඩ තියාගෙන තාත්ත සින්දු කිව්වා ඔයා නිදියනකල්. මෙච්චර වෙලා අඩපු ඔයා මෙන්න කෙදිරි ගානව. පස්සෙ අපි බලනකොට තාත්තයි ඔයයි දෙන්නම නිදි. තාත්තටත් නින්ද ගිහින් මහන්සියට. වෙලාවකට මට හරි ලෝබ හිතෙනවා ඔයා තාත්තගෙ පපුව උඩ නිදාගෙන ඉන්නව දැක්කම. ඔයාගෙ ආච්චි හැම තිස්සෙම කරන්නෙ ඒක බල බල සතුටට අඩන එක.

පස්සෙ ඔයා ටික ටික ලොකුවෙනකොට අපි පුතා සින්දුවක් කියන්න කියල ඔයාට කීවම, ඔයා කට උල් කරගෙන කියන්නෙ අර තාත්ත ඔයාව නිදි කරවන්න කියපු සින්දුව.

ඔයා ඔය දැන් අහපු ගීතය තමා ඔය හැම වෙලාවෙදිම තාත්ත ඔයාව නිදි කරවන්න කිව්වෙ. කොච්චර ඇහුවත් ඔයාට මදි. ඉතින් තාත්තත් ඔයා අඩන අඩන වාරයක් ගානෙම, ඔයාට නින්ද යනකල් ඔය සින්දුවම කියනවා. ලක්ෂවාරයකට වඩා ඔයා වෙනුවෙන් තාත්ත ඔය ගීතය කියන්න ඇති.

පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//

මං පොඩි කාලේ හඳ මාමා කිව්
කතාව මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//

පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා
ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා
හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා
ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා
ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා

අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා
චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා
කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා
හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා
පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා
ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ

පුතුනේ මේ අහගන්න පුතුනේ
පුතුනේ මේ අහගන්න//

අපිව මේ තත්ත්වෙට ගේන්න අපි නොදන්නවට, අපිට මතක නැති උනාට සෑම පියතුමෙකුම කොතරම් නම් සුන්දර දුක් විදින්න ඇත්ද? මගේ පියාණන්ට වගේම සියළුම පියවරුන්ට මෙය උපහාරයක්ම වේවා.

මෙය ලියූ Sumudu Abeysooriya (sasliit) සොහොයුරාට අපගේ ස්තූතිය.

♫♥♫ හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන ♫♥♫


♫♥♫ හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන ♫♥♫

ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න...

මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න... එහෙනම් මෙන්න කතාව...

2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල. ඔයාලා දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ... ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්...

පේරාදෙණිය විද්‍යා පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා... කාඩ් එක තමා බොනපාට්... මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්...(අදටත් බොනපාට් කියලා පේරාදෙණිය සරසවියෙ කාගෙන් හරි ඇහුවොත් ඔහුව දන්නවා එච්චරට ඔහු ප්‍රසිද්ධයි)

ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් සරලවම කියනවනම් පට්ටම සංවේදී... පට්ටම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි... අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව... කොහොමද උපාධියෙ තත්වය යාළුවනේ)

පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත...

ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... එය තමයි සොබනි. ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත...

යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි බාශාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා...

මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි...

නමුත් සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා... හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් campus එකේ යාලුවෝ කියන විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද මේවගේ දෙයක් වෙන්නෙ. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා...

නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ... නමුත් සම්බන්ධය නවත්වලා... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ රූමවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල. ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා...

ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ... ඔහු ගත්ත තීරණයක්... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ...

උනදේ කියාගන්නත් බෑ... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත...

ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ...
මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති...

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින

මට දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල...

මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන

දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට... මොනව කියන්න ඇත්ද? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද? මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

හැබැයි මෙහෙදී මම එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවාලු. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවාලු... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මට මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක්ගෙන් මේක අහපු වෙලාවේ කියපු කතාවක්...

මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... "අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ, ඌ ගැන වටිනාකමක් නැති නිසා... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර ගියේ නෑ..."

ඊ තැපෑලක් ඇසුරිණි !

ටයිටැනික් නැව මුහුදුබත් කළේ යෝධ මුහුදු රැල්ලක්ද?

හැම Page එකකම දාන්නේ ටයිටනික් නැව ගිලුනා අදට වසර 100 ක් කියල විතරයිනේ.
මෙන්න නැව ගිලුන හැටි පින්තුරත් එක්කම කියවල බලන්නකෝ විස්තරේ. 
ලෝක ඉතිහාසයේ ගිලී ගිය නෞකා අතරින් සුප්‍රසිද්ධම නෞකාව වන ටයිටැනික් උතුරු අත්ලාන්තික් සයුරේ ගිලී ගොස් අදට( අප්‍රේල් 15) වසර 100කි.

ටයිටැනික් නැව මුහුදුබත් කළේ යෝධ මුහුදු රැල්ලක්ද? වසර 1400කට වරක් වන සිදු වීමක් ද?

මීට හරියට ම අවුරුදු සීයකට ඉස්සර, සුප‍්‍රකට ටයිටැනික් නැව කැඞී බිඳී මිනිස් ජීවිත 1500ක් පමණ මුහුදට බිලි වුණු කතාව පසුගිය කාලේ ඔබ ජේම්ස් කැමරූන්ගේ ‘ටයිටැනික්’ චිත‍්‍රපටයෙනුත් දුටුවා ඔබට මතක ඇති. තවමත් ලෝකයාට අමතක කරන්න බැරි ඒ අනුවේදනීය සිදු වීමට හේතුව මුහුදේ පාවී ආ යෝධ අයිස් කන්දක් හා ගැටීමයි. එය සිදුවුණේ 1912 අපේ‍්‍රල් 14 වැනිදා.

එදා හිම කන්ද ටයිටැනික් ඉදිරියට ආවේ හඳේ බලපෑම නිසාද? මෙය ජීවිත කාලයකට වරක් සිදුවන සුනාමියක් බඳු යෝධ මුහුදු රැල්ලක් ඇති වීම නිසා සිදු වූවක්ද? 1912 ජනවාරි 12 වැනිදා සිදු වූ මේ උදම් රළ නිසා ගී‍්‍රන්ලන්තයේ හිම කඳු සහිත ප‍්‍රදේශයෙන් කැඞී මුහුදට එකතු වූ යෝධ හිම කුට්ටි ගණනාවක් අත්ලාන්තික් සාගරය හරහා පා වී ආවා. ඒවාට මේ ගමනට මාස තුනක් ගත වුණා.

එංගලන්තයේ රූපවාහිනී නාළිකාවක විකාශය වූ ටයිටැනික් කතා මාලාවක් හඳුන්වා දීමේ දී මෙම හෙළිදරව්ව කළ පීටර් මැක්ඩොනල්ඞ්.

දැන් තාරකා විද්‍යාඥයන් කියන්නේ වසර 1400කට වරක් සිදු වන සඳ පෘථිවියට වඩාත් සමීප වූ අවස්ථාවේ ඇති වූ බලපෑම නිසා මතු වූ මේ උදම් රළ හේතුවෙන් කැඞී ගිය දැවැන්ත හිම කුට්ටි පෙළක් බටහිර ගී‍්‍රන්ලන්ත දිය රලේ බලපෑමෙන් තල්ලූ වී ආ බවයි. ඒවා බැෆින් බොක්ක හරහා ලැබ‍්‍රඩෝරයේ හා නිවුෆවුන්ඞ්ලන්තයේ වෙරළ දිගේ ඩෝව් සමුද්‍ර සන්ධිය මැදින් පා වී ආවා. එසේ පා වී ආ ඒවා ඊළඟට ලැබ‍්‍රඩෝ දිය රලට අසු වී අත්ලාන්තික් සාගරය දිගේ විත් මේ නැව් මාර්ගයට පිවිසෙන්නට ඇති. ටයිටැනික් නෞකාව යාත‍්‍රා කළ සුපුරුදු නැව් මඟ ‘මාරක මාර්ගයක්’ වෙන්නට ඇත්තේ එහෙමයි කියලයි තාරකා විද්‍යාඥයන් සිතන්නේ. (සිතියම බලන්න.)

උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර හාලන්ඞ් හා වුල්ෆ් සමාගම තැනූ මේ වයිට් ස්ටාර් ලයිනර් ආර්එම්එස් ටයිටැනික් නැව ටග් බෝට්ටු හතරක් පිරිවරා ගෙන 1912 පෙබරවාරි 4 වැනිදා සිය මංගල ගමන අරඹන්නට සූදානම් කරනු පිණිස එංගලන්තයේ දකුණු වෙරළේ සදර්ම්ටන් වරායට ගෙනා ආකාරයයි (පින්තුරය බලන්න)මේ. ඒ යුගයේ ලොව නිපදවූ වඩාත් සුරක්ෂිත නැවක් ලෙස හැඳින්වූ මෙය 1912 අපේ‍්‍රල් 10 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් වරායට සේන්දු වීමට නියමිතව තිබුණා.

එදා ටයිටැනික් යාත‍්‍රා කළ මාර්ගයේ කෙතරම් හිම කුට්ටි ප‍්‍රමාණයක් තිබුණා ද කීවොත් අනතුරට පත් අය බේරා ගන්න ආ නැව්වල ගමනාගමනයටත් එයින් බාධා ඇති වුණා.

”එදා ජනවාරි 4 වැනිදා තමයි, හඳ පොළොවට වඩාත් ළං ව පිහිටි දවස. එවැනි දවසක් ඊට කලින් උදා වුණේ අවුරුදු 1400කටත් එපිටදියි. ඒ නිසා මිහිමත සාගරවල උදම් රලවලට ලොකු ම බලපෑම එල්ල වුණේ එදයි. ඒක අතිශයින් ම සුවිශේෂ අවස්ථාවක්.” යැයි ඇමරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්යවරයකු වූ ඩොනල්ඞ් ඕල්සන් කියනවා.

මේ වගේ දෙයක් අපේ ජීවිත කාලයේ දී ආයිත් සිදු වන්නේ නෑ. සූර්යයාත්, පෘථිවියත් අතරට චන්ද්‍රයා පැමිණීමත් එහි දී චන්ද්‍රයා පෘථිවියට වඩාත් ම සමිපව පිහිටීමත් යන මේ වගේ සංසිද්ධියක් ඇති වන්නේ වසර 1400කට වරක් විතරයි.

සාමාන්‍යයෙන් මේ යෝධ හිම කුට්ටි (කඳු) එක තැනමයි තියෙන්නෙ. ඒවාට කෙළින්ම දකුණු දිසාවට චලනය වෙන්න බැහැ, එක්කෝ ඒවා පා වෙන තරමට දිය වෙන්න ඕනෑ, නැත්නම් ඒවා ඉන්නා තැනින් එහා මෙහා වෙන්න තරම් උස් උදමක් ඇති වෙන්න ඕනෑ. තනි හිම කන්දක් දකුණු දිගට යද්දී කීප තැනක දී ම නතර වෙන්න ඉඩ තියෙනවා. ඒවගේ ගමනකට අවුරුදු ගානක් ගත වෙන්න පුළුවන්.

”හිම කඳු දකුණු දිගට යද්දී ඒවා බොහෝ විට පා වෙන්නේ නොගැඹුරු මුහුදේයි. ලැබ‍්‍රඩෝරයේ හා නිව්ෆවුන්ඞ්ලන්තයේ වෙරළ ඔස්සේ මෙය ඉඳහිට සිදු වෙනවා. පාවෙන්නට බලයක් නොලැබුණු විට නො ගැඹුරු මුහුදේ එක තැන නවතිනවා. ඒත් ඉතාමත් උස් උදම් රලක් ඇති වූ විට ඒවා නැවත පා වෙන්න පටන් ගන්නවා. ඊළඟට බාදිය ඇති වීම නිසා ඒවා ලැබ‍්‍රඩෝර් සාගර දියවැලට අහුවෙලා යළිත් දකුණු දිගට පා වෙනවා” ඕල්සන් කියනවා.


”ඒ නිසයි අප හිතන්නේ 1912 වසන්තයේ දී මේ වගේ හිම කඳු රාශියක් පා වෙන්න ඇතිය කියා. හරියට ම කියන්න බැහැ, 1912 ජනවාරියේ පා වී ආ හිම කන්දක් ම මේ ටයිටැනික් නැව හා හැපුණා කියලා. ඒත් ඒක විය හැකි සිදු වීමක්.”

”කොහොම වුනත් නැව මුහුදුබත් වෙන්න හේතුව හිම කන්දක හැපීමෙන් බව පැහැදිලියි. ටයිටැනික් නැවට බැරි වුණා, නැවේ වේගය අඩු කර ගන්න, නැව ගිය මග ඉදිරියේ හිම කඳු තිබිය හැකි බවට අනතුරු අඟවන ගුවන් විදුලි පණිවිඩ කීපයක් ම ලැබිලත්.” ඕල්සන් තවදුරටත් කියනවා.

”නැව ඒ හිම කඳු පා වෙමින් තිබුණු කලාපයට ඇතුළු වුණේ යා හැකි උපරිම වේගයෙනුයි. ඒ නිසා තමයි මුහුදුබත් වෙන්න තරම් ලොකු අලාභයක් නැවට සිද්ධ වුණේ. ටයිටැනික් නැවේ ගමන් මගට ඒ තරම් විශාල හිම කඳු ප‍්‍රමාණයක් එන්නට හේතු වුණේ මේ සඳේ සංසිද්ධිය නිසා කියල අපට පිළිගන්න වෙනවා.” ඔහු අවසාන වශයෙන් කියනවා.

නොවිසඳුණු අබිරහස්

මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex : 

මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි. ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම අශ්වයා ඉදිරියට නොගොස් නතර වේවි. ඔබ බලෙන් ඌ ගෙන යන්න හැදුවොත් එය මග හැර යන්න ඌ වලිකාවි. හදිසියේ ම ඊට ඉහළින් පියාඹා යන්න ආ කුරුල්ලන් එකවර ම හැරී වෙන අතකට යනවා පෙනේවි. ගස් පවා ඔබට පෙන්වා දේවි ගැළවී යන්න බැරි බලපෑමකට ඔවුන් නතු වී ඇති බව. එතැන කවාකාර ප‍්‍රදේශයක් පුරා ගුරුත්වාකර්ෂණයේ විකෘති වීමක් ඇති බව ඔබට පෙනී යාවි. ගස්වල අතු පහතට එල්ලා හැළෙනවා. ගස් චුම්බක උතුර දෙසට ඇල වී තියෙනවා. ඒ අවට ඇති ගස් කෙළින් ම උඩු අතට විහිදිලා.
මෙතැන ලෝක ප‍්‍රකටව ඇත්තේ ‘ඔරෙගන් සළාව’ Oregon Vortex කියායි. (‘සළාව’ කියන්නේ සුළියක් වැන්නකටයි) එය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ඔරෙගන් ප‍්‍රාන්තයේ ග‍්‍රන්ට්ස් පාස්හී සිට සැතැපුම් 30ක් පමණ ඈතින් (සාර්ඩින් ක්‍රීක්). මේක ඇමරිකාවේ ඇති හරිම ප‍්‍රසිද්ධ තැනක්. ඒත් මෙතැන මෙහෙම වෙන්නේ ඇයි ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.


මේ සළාව ආසන්න වශයෙන් අඩි 165ක විශ්කම්භයක් ඇති තැනක්. දළ වශයෙන් වටකුරු හැඩයෙන් යුක්තයි. මෙය සංචාරක ආකර්ෂණයක් ලෙස 1930 සිට එහි යන එන්නන් මවිතයට පත් කරවනවා. මෙහි ඇති උපකරණවල මැනීම් අනුව දින 90කට වරක් මෙහි හැඩය හා ප‍්‍රමාණය මඳක් වෙනස් වෙනවා. මේ කවය ඇතුළේ දැන් ඇති පැරණි ලී මඩුව කලින් තිබුණේ කවයෙන් පිට කන්ද උඩට වෙන්නයි. අද එය තියෙන්නේ අඩි 40ක් විතර කවය ඇතුළට වෙන්නයි. මේ මඩුවේ එල්ලා තියෙන රාත්තල් 28ක් බර යගුලිය කෙළින් ම පහළට එල්ලෙන්නෙ නෑ. එහි මඳ ඇලවීමක් තියෙනවා. මේ කවය ඇතුළට, මැද දෙසට, පහසුවෙන් ම ගියත් කවයෙන් පිටට යාම ආයාසයක් ගෙන කරන්න ඕනෑ දෙයක්.


ස්කොට් ජාතික විද්‍යාඥ ජෝන් ලිස්ටර් 1913 දී මේ ස්ථානයේ පරීක්ෂණ 14,000ක් කර අවසානයේ දී නිගමනය කළේ මේ සළාව යෝධ වර්තන කාචයක් ලෙස කි‍්‍රයා කරන බවයි. ඔහු කියන්නේ මේ කවය තුළ දී ආලෝක ධාරාව කවාකාර හෝ සළාකාරව හෝ විහිදෙන නිසා මෙහි දී සිදුවන දේ අපට පෙනෙන්නේ දෘෂ්‍ය මායාවක් ලෙස බවයි. එහෙත් මෙහි දැනට සේවය කරන මග පෙන්වන්නන් ඒ අදහසට එකඟ වෙන්නේ නැහැ.
ඔවුන් කියන්නේ ඔබේ කැමරාව පාවිච්චි කර මෙහි ඇත්තේ දෘෂ්‍ය මායාවක් නොවන බව ඔබට ම ඔප්පු කළ හැකි බවයි. එක් කෙළවරක සිට අනෙක් කෙළවරේ ඉන්නා අයකු ඡායාරූපයට නඟන්න. ඊළඟට ඒ ස්ථාන මාරු කරගෙන මුලින් සිටි දුර ම තබා ගෙන ඔහුගේ තව ඡායාරූපයක් ගන්න. ඒ රූප දෙකෙහි උස හා උරසෙහි පළල සන්සන්දනය කරන විට ඔබට පෙනේවි, ඒ අය දකුණු කෙළවරේ ඉඳිද්දී ගත් පින්තූරයේ දී ඔහුගේ උස හා උරහිසෙහි පළල අනෙක් කෙළවරෙදී ගත් පින්තූරයට වඩා වැඩි වී ඇති බව. මෙහි දී සිදු වන්නේ දෘෂ්‍ය මායාවක් නම්, කායික වෙනසක් නොවේ නම්, ඡායාරූපවල මෙසේ වෙනසක් ඇති වෙන්න විදියක් නැහැ කියලයි, ඔවුන් කියන්නේ.

මෙහි තනා තියෙනවා, පටු ලී වේදිකාවක්. එහි දෙකෙළවර ලී රිටි දෙකක් සවිකරල තියෙනවා. ඒ රිටි දෙක සමාන උසක් ඇති ඒවා යයි මග පෙන්වන්නා කීවත් අපට පෙනෙන්නේ දකුණේ ඇති රිට උතුරේ ඇති රිටට වඩා අඟල් කීපයක් උසින් වැඩි බවයි. මෙහිදී මග පෙන්වන්නා ලෝහ දණ්ඩක් ගෙන ඒවා මැන පෙන්වනවා.
ඊළඟට මග පෙන්වන්නා කියනවා, අමුත්තන් දෙදෙනකුට වේදිකාවට නගින ලෙසට. වේදිකාවේ දෙකෙළවර මුහුණට මුහුණලා සිට ඊළඟට පැති මාරු කර ගන්නා ලෙස කියනවා. මෙසේ යද්දී යන පැත්තට අනුව ඔවුන්ගේ උස අඩු හෝ වැඩි හෝ වන බව එහි යන ඔබට දැක ගන්න පුළුවන්.


ඊළඟට අඩි 5යි අඟල් 8ක් උස අමුත්තකු පැමිණ සිටි පිරිසට මුහුණලා වේදිකාව මැද සිටවනවා. එහි ඉන්නා මගපෙන්වන්නාගේ උස අඩි 5යි අඟල් 10යයි. උසින් වැඩි මගපෙන්වන්නා අමුත්තාගේ වම් පැත්තේ වේදිකා කෙළවරේ (උතුරු කෙළවරේ) සිටින විට ඔවුන් දෙදෙනාගේම උරහිස් එක උසින් ඇති බව අපට පෙනෙනවා. ඊළඟට මග පෙන්වන්නා අමුත්තාගෙන් අනෙක් පැත්තට (දකුණු කෙළවරට) යනවා. අමුත්තා සිටි තැනම සිටිනවා. මෙහි දී මග පෙන්වන්නාගේ උසින් වැඩි බව අමුත්තා අසලින් යන විට පැහැදිලිව පෙනෙනවා.

මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පවා මේ ගැන මතයක් පළ කරල තියෙනවා. එතුමා සිතන්නේ මේ සංසිද්ධියෙහි දෘශ්‍ය මායාවකට එහා ගිය අපේ ඇඟට දැනෙන දෙයක් තියෙනව කියලයි. ඊට හේතුව දිනපතා කීප වතාවක් ම අඟල් 19ක් තරම් ප‍්‍රමාණයක් දක්වා හැකිළීමක් හෝ ප‍්‍රසාරණය වීමක් හො මේ සළාවෙහි සිදු වන නිසයි. අයින්ස්ටයින් සිතන්නේ මේ බිම තුළ ඇවිද යන විට අයකුගේ සිරුරේ අණුක ව්‍යුහයේ විස්තාරණය වීමක් හෝ හැකිළීමක් හෝ සිදුවන බවයි.

මේ විද්‍යාඥයන් දෙදෙනාගේම පැහැදිලි කිරීම්වලින් මෙහි ඇති අබිරහස මුලූමනින් ම හෙළිදරවු වුණේ නැහැ. මේ සළාව තුළ සිටින අයකුට ඍජුව සිට ගැනීමට නොහැකි බව, හැම විට ම අංශක 7ක් උතුර දෙසට නැඹුරුව සිට ගැනීමට සිදු වීමට හේතුවවත්, කැමරාවල ආලෝක මානයන් මේ සාළාව තුළ දී වැඩි අඳුරක් පෙන්වීමට හේතුවවත් ඔවුන්ගේ න්‍යායික මතවලින් පැහැදිලි වුණේ නැහැ.

මෙය මේ මිහිමත ඇති වඩාත් අද්භූත තැනක්, ඒ වගේ ම තාමත් නොවිසඳුණු අබිරහසක් රැඳුණු තැනක් හැටියටයි සැලකෙන්නේ. පුලූවන්කමක් ලැබුණොත් ගිහින් බලන්න වටින තැනක්.

Monday, April 9, 2012

සොහොයුරා වෙනුවෙන් හාස්කමක් මිලට ගත් දැරිය...!!


     නිවස පුරා පැතිර තිබුනේ පාළු මූසල බවක්.මවගේ කෙදිරිලි හඩින් නිවසේ පැවති නිශ්ශබ්දතාවය බිදී ගියා. ඒ හඩට සවන් යොමා සිටි පුංචි සැලී ඇගේ පියා කලබලයෙන් නිවස පුරා ඇවිද යන ආකාරය බලා සිටියේ සංවේගයෙන්. විටක මව සිටි කාමරයට ඇතුල් වී මවගේ හිස අත ගෑ ඔහු තවත් විටක නිවස ඉදිරියට විත් මාවතේ ඈත කෙලවර දෙස බලා සිටියේ නොයිවසිල්ලෙන.

"තාත්තේ..."
හෙමින් හෙමින් පියා අසලට ඇදුනු සැලී ඇගේ හඩ අවදි කලා
"ඇම්බියුලන්ස් එක තවම නැත්තේ ඇයි?"

"දැන් ලගම එනවා ඇති දුවේ" යැයි සැලීට පිලිතුරු දුන් පියා ඇයව තම තුරුලට ගත්තා.

"දුවට බයයිද? බය වෙන්න එපා දුවේ...මම ඉන්නවානේ"යැයි පියා පැවසුවේ පුංචි සැලීගේ සිතේ කැකෑරෙන බිය සහ ශෝකය ඔහුට දැනුනු නිසාවෙන්.

මද වේලාවකින් හඩ නංවමින් පැමිනි ගිලන් රථයක් නිවස අසල නැවැත්වූ අතර ඉන් බැස ගත් වෛද්‍යවරියක් සහ හෙදියන් දෙදෙනෙක් හනික නිවස තුලට පැමිනියා.ඔවුන් සුව පහසු අසුනක මවව හිදවා ඇයව ගිලන් රථය වෙත රැගෙන යන ආකාරය කදුළු පුරවා ගත් දෙනෙතින් යුතුව සැලී බලා සිටියා.
පියා වෙත සෙමින් සෙමින් ලං වූ ඇය ඔහුගෙන් මෙසේ ඇසුවා,

"තාත්තේ...අම්මා මැරෙයිද?"

පුංචි සැලී දෙස ආදරණීයව බැලූ පියා ඇයට පිලිතුරු දුන්නා
"නෑ දුවේ අම්මාට මොකුත්ම වෙන්නේ නෑ...තව ටික දවසකින් දුවට මල්ලි පැටියෙකුත් අරගෙන අම්මා ගෙදර ඒවි"

සැලීගේ දෙනෙත් විශාල වුනා...මුහුන ආලෝකවත් උනා...ඇගේ මුව පුරා ඇදී ගියේ සුන් දර සිනහවක්...

දින කිහිපයක් ගෙවී ගියා.මව යලිත් නිවසට පැමිනියා,ඇය පැමිනියේ තනිවම නොවේ, සැලීට පුංචි හුරුබුහුටි මල්ලියෙකුත් සමගයි. ඔහුට ජෝජ් යැයි නමක් යෝජනා කලේ සැලීමයි.

කාලය ගෙවී ගියා,දැන් සැලීට වයස අවුරුදු 8ක්. දිනක් ඇගේ මව සහ පියා ඇයගේ පුංචි සොහොයුරා ජෝජ් පිලිබදව කල කතාවක් ඇයට ඇසුනා.ඔහු මාරාන්තික අසනීපයකින් පසුවන බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කල හැකි සියල්ල තම මව සහ පියා කර ඇති බවත් සැලීගේ පුංචි මොළයට වැටහුනා.වෛද්‍යවරුන්ට අනූව ඉතා විශාල මුදලක් වැය වන ශල්‍යකර්මයකින් කුඩා ජෝජ්ගේ දිවි බේරා ගැනීමට හැකි වන නමුත් එවැනි විශාල මුදලක් දැරීමට සැලීගේ මවට සහ පියාට හැකියාවක් නැහැ.

"දැන් ඉතින් පුතාව බේරගන්න වෙන්නේ හාස්කමකින් විතරයි" පියා දුක්මුසු හඩින් මව සමග පවසන අයුරු සැලීට ඇසුනා.

"හාස්කමක්? ඒවා කොහේද තියෙන්නේ?" සැලීට ප්‍රශ්ණයක්.
හනික තම නිදන කාමරයට දිව ගිය සැලී සගවා තිබූ තැනින් තමන්ගේ කැටය අතට ගත් අතර හනික එය බිද දැමූ ඇය එහි තිබූ මුදල් ගණන් කිරීමට පටන් ගත්තා.කුඩා වියේ සිටම මව සහ පියා ලබා දුන් මුදල් ඉතිරිකිරීමට හුරු වී සිටි නිසා ඇගේ කැටයේ සෑහෙන ප්‍රමානයක මුදලක් ඉතිරි වී තිබුනා. කැටයේ පිරී තිබූ මුදල් තෙවරක්ම ගැන බැලූ සැලී අවසානයේ ඒවා රැගෙන නිවස අසල තිබුනු ඖෂධ සැල වෙත ගියා.

ඖෂධ සැලට ඇතුල් වූ සැලී ඖෂධ සැලේ සේවකයෙකුගේ අවධානය ඇය වෙත යොමු වන තෙක් බලා සිටියත් කාර්යබහුලව සිටි ඔවුන් කිසිවෙකුගේ අවධානය ඇය වෙත යොමු වුනේ නෑ .අවසානයේ තම පසුම්බියෙන් කාසියක් අතට ගත් ඇය එයින් මේසයට තට්ටු කල අතර එය ඇසුනු මුදල් අයකැමි කාන්තාව පුංචි සැලී දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවා.

"මොකද?"

"මම ආවේ මගේ මල්ලී ගැන කතා කරන්න..." සැලී සිහින් හඩින් පිලිතුරු දුන්නා,
"එයාට තවම වයස අවුරුදු දෙකයි...එයා ගොඩක් ලෙඩින්...මට එයාව හොද කරන්න හාස්කමක් ගන්න ඕනෙ...ඇන්ටිලා ලග හාස්කම් තියනවද?"

මුදල් අයකැමි කාන්තාව තුෂ්නිම් භූත වුනා.
"මොකද්ද දරුවෝ කිව්වේ..මට තේරුනේ නෑ" ඇය යලිත් විමසුවා.

"තාත්තා කිව්වා මගේ මල්ලීව හොද කරන්න පුලුවන් හාස්කමකට විතරයි කියලා...මට මල්ලිව හොද කරගන්න ඕනේ..අනේ ඇන්ටි හාස්කමක් කීයද?"
සැලී හැඩුම්බරව ඇසුවා.

"අපි ලග හාස්කම් විකුනන්න නෑ දරුවෝ..."මුදල් අයකැමි කාන්තාව සෙමින් පැවසුවත් සැලී පරාජය බාර ගත්තේ නෑ.

"අනේ ඇන්ටි මගේ ලග සල්ලී තියනවා...මම සල්ලි දෙන්නම්..."

මෙවිට පිලිවෙලට හැද පැලද ගත් මහළු මිනිසෙක් සැලී අසලට පැමිනියා,

"ඔයාගේ මල්ලිට මොන වගේ හාස්කමක්ද ඕනේ දරුවෝ"? ඔහු කරුණාවන්ත හඩකින් සැලීගෙන් විමසුවා.

"මම දන්නේ නෑ අංකල්" සැලීගේ දෙනෙතින් කදුලු ගලා ගියා.

"මගෙ මල්ලිට ගොඩක් අසනීපයි...එයාව හොද කරන්න ඔපරේෂන් එකක් කරන්න ඕනෙලු...ඒත් මගේ අම්මටයි තාත්තටයි එච්චර සල්ලි නෑ...ඒ නිසා මගේ ලග තිබුනු සල්ලි අරගෙන මම ආවා හාස්කමක් ගන්න"

"ඉතින් පුතා ලග සල්ලි කොච්චර තියනවද"?ඔහු ඇසුවා.

"ඩොලර් එකයි සත එකොලහක් තියනවා අංකල්" සැලී ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා.

"හරි පුදුමයි" සිනා සෙන ගමන් මහලු මිනිසා පැවසුවා,

"මල්ලි කෙනෙක්ව බේරගන්න තියන හාස්කමේ ගාණ හරියටම ඩොලර් එකයි සත එකොලහයි"
එක් අතකින් දැරියගේ අත තිබූ මුදල් ගත් ඔහ් අනෙම් අතින් දැරියගේ අතක් අල්ලා ගත්තා,
"මාව දුවගේ ගෙදරට එක්ක යන්නකෝ එහෙනම්...මට දුවගේ මල්ලිව බලන්න ඕනේ... දුවගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්නත් ඕනේ"
ඔහු පැවසුවා.

ඒ මහලු මිනිසා වෛද්‍ය කාල්ටන් ආම්ස්ට්‍රෝන් වූ අතර ඔහු ඉතා දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස එකල පිලි ගැනුනා.

ඔහු කුඩා ජෝජ්ගේ ශල්‍යකර්මය බාර ගත් අතර ඔහු එය සිදු කලේ කිසිදු ගාස්තුවකින් තොරවයි. ශල්‍යකර්මය සාර්ථක වූ අතර කුඩා ජෝජ් ඉතා ඉක්මනින් සුවය ලැබුවා.

නිවසට පැමින කෙලිදෙලෙන් පසු වූ ජෝජ් දෙස බැලූ මව පියාට මෙසේ මිමිනුවා

"මට නම් මේ ඔපරේෂන් එක ගැන හිතා ගන්නවත් බෑ...මේක හාස්කමක් වගේ...ඇත්තටම මේකට කීයක් යන්න ඇතිද?"

සැලී තනිවම සිනා සුනා...ඇය දැන සිටියා හාස්කමක මිල...එය ඩොලර් එකයි ශත එකොලහක්,නමුත් එයට සහෝදරියකගේ ආදරයත් විශ්වාසයත් එකතු විය යුතුයි.