" එදා දවස පුරාම පොද වැස්ස වැටෙමින් තිබුණා මතකයි. කුප්පි ලාම්පුවේ එළියෙන් ලොක්කයියයි මායි දාං අතක් අදිමින් උන්නා. අම්මයි , නැන්දයි දෙන්නා කුස්සියේ දුම් ගහමින් රෑ කෑම වේල උයනවා .වෙලාව රෑ අටත් පැනලා ..එක පාරටම මහ වත්ත පැත්තෙන් ඇහුණේ මහා මල මූසල මුස්පේන්තු හඬක් . !!"

බඩ පපුව හීතල කරගෙන යද්දී අපි දෙන්නම එක පිම්මේ දුවලා ගිහිං නතර වුණේ කුස්සියේ .

ඒ මූසල විලාපය කනට වැටුණු දවස් වෙනකොට අපි යන්තම් සිස්සත්තෙට මූණ දෙන පොඩි එවුන් වග ඇත්ත . ඒත් ඒ එදා මට ඇහුණු විලාපය මතක් වෙද්දි එදාට වඩා සෑහෙන අවුරුදු ගාණකින් වයසින් වැඩුණු මගේ හිත අදටත් ගැස්සිලා යන හේතුව මම තවම දන්නේ නෑ .

"ඔය කෑගෑවේ සොඳරි !! උඹලා බය වෙන්න එපා ! ගෑනු ඉන්න තැන් වලට සොඳරි එන්නේ නෑ . නැන්දා එහෙම කීවේ ලිපේ තිබුණු පරිප්පු හොදි එක පොල්කටු හැන්දෙන් හැඳිගාන අතරේ . “

ඔය කියන කාලේ අපේ ගමට කරන්ටෙක ලැබිලා තිබුණත් . අපේ දිහෑවට කරන්ටෙක ලැබිලා තිබුණේ නෑ . මොකද කීවොත් ඒ වෙනකොට මම උන්නේ මයෙ තාත්තට රජයෙන් දීලා තිබුණු කෝටස් එකේ . ඉතින් ඒ කෝටස් එකට කරන්ටෙක ගන්න අපිට පුළුවන් කමක් තිබුණේ නෑ !. තාත්තා නැති වුණාට පස්සේ අපිව එතනින් එළවාගන්න තිබුණු උවමනාව නිසාමද කොහෙදෝ අපිට කරන්ටෙක අරන් දෙන්න වගකිව යුත්තන්ගේ කිසිම උනන්දුවක් තිබුණෙත් නෑ !

ඒ වෙද්දි ලයිට් එළිය දකින්න පින නැති පළගැටියෝ වෙච්චි අපි ජීවිතේ එළිය කරගත්තේ ගෙදර හදාගත්තු කුප්පි ලාම්පුවෙන් තමයි . මුලු ගෙදරම කට්ට කළුවර මකන්න කුප්පි ලාම්පුවේ එළියට බැරි වුණත් කුප්පි ලාම්පු දෙකකින් විහිදුණු එළියෙන් අපි හැමෝම සෑහීමකට පත් වෙන්න පුලුවන් වුණා . එක ගෙයක ලාම්පු තුනක් පත්තු කරන්න හොඳ නැතෙයි කියන්නේ !

ලිපේ උඩ පැහෙමින් තිබුණු පරිප්පු හොද්ද හැඳිගාලා ඉවර වෙච්ච නැන්දා ලිප ගාව තිබුණු කොස්ස අතට අරගෙන ඉස්සරහා දොර ගාවට යන හැටි ලොක්කයියයි මායි බලාගෙන හිටියේ හරිම කුතුහලෙන් . ඉස්සරහා දොර යන්තම් ඇරපු නැන්දා කොස්ස එළියට වීසි කරලා දාලා ආයෙමත් දොර වහලා දොර පොල්ල තද කළා .

"ඇයි නැන්දා ඔයා කොස්ස එළියට විසික් කෙරුවේ ?”

හිතට නැඟෙන හැම ගැටළුවකටම ඒ මොහොතේම පිළිතුරක් ලබා ගන්න උත්සාහ කරපු එක මගේ පොඩි කාලේ හැටියක් .

"සොඳරි ඉලපතට , කොස්සට වගේ ගෑනුන්ට අයිති දේවල් වලට බයයි !”

මම ලොක්කයියා කීවේ මයෙ නැන්දගේ පුතන්ඩියාට. ඒකා මට වැඩියෙ අවුරුද්දකින් වැඩිමල් ! ඉගන ගන්නත් මට වඩා බොහොම දක්‍ෂයි . දාං අදිද්දිත් ලොක්කයියා මාව නිතරම පරද්දනවා . උගෙයි මගෙයි සමාන කමකට කියලා තිවුණේ අපි දෙන්නගෙම තාත්තලා කොටි වෙඩි තියලා මරාදාලා තිබුණ එක විතරයි .

"උඹ සොඳරිව දැකලා තියනවද මලේ ?”

වහලේ දිහෑ බලාගෙන බර කල්පනාවක උන්නු ලොක්කයියා මගෙන් එහෙම අහද්දී මගෙ හිත ගැස්සිලා ගියා .

"නෑ කවදාකවත්ම දකලා නෑ ටීවී එකේවත් දැකලා නෑ ගැහෙන හදවතින් මම උත්තර දුන්නා .”

පරිප්පුත් එක්ක බත් කන අතරේ නැන්ද අපි දෙන්නට සොඳරිගේ කතාව කියන්න පටන්ගත්තා . යන්තම් කළුවර තැනක හිටපු අපි දෙන්නා බය හින්දම කුප්පි ලාම්පුව ළඟට කිට්ටු වුණා ‍‍

"සොඳරි කියන්නේ ළමයෙක් හම්බුවෙන්න උන්නු ගෑනු කෙනෙක්ලු . බොහොම ලස්සනයිලු . ඒ වුණාට ඉතින් සොඳරිගේ මනුස්සයා සොඳරිට නිතරම සලකලා තිබුණේ හරිම නරක විදිහටයි කියලයි මම අහලා තියෙන්නේ . “

"ඉතින් ඉතින් ...?” කුතුහලය නිසාම අපි කතාව අහගන්න පුදුම විදිහට නොයිවසිල්ලෙන්

"සොඳරි ළමයාව වදන්න බොහෝම කිට්ටු කාලෙකදී දවසක් සොඳරිගේ මනුස්සයා සොඳරි එක්ක දබරයක් ඇති කරගෙන තිබුණා . ඉතින් ඒ මිනිහා සොඳරිට හොඳටෝම තඩිබාලා ගෙදරින් එළියට දාලා දොර වහගත්තා . අනේ ඉතින් බඩට වැදුණු පාපහරක් නිසා සොඳරිට හොඳටෝම අමාරු වුණා වතුර පොදක්වත් හොයා ගන්න හිතාගෙන කැලේ පැත්තට බඩගාගෙන යද්දි සොඳරි කැලේ මැද්දෙම මියැදුණාලු ..”

"ඉතින් ඒකද කතාව ?”

"ඉවර නෑ , සමහරු කියනවා එදා ඒ විදියට මියැදිච්ච සොඳරි අද පිරිමි සංහතියටම වෛර කරනවාය කියලා . ඔය ඇහුණේ විලිරුදාවෙන් කෑගහන අම්මන්ඩියෙකුගේ හඬ නේද ? කාටත් ඇහෙන්නේ ඔය හඬ විතරමයි කාටවත් ඔය සොඳරිව දැක ගන්න නම් බෑ දැක්ක කෙනා ජීවත් වෙන්නෙත් නෑ . “

නැන්දාගේ කතා විලාසයට මගෙ බඩ පපුව හීතල වෙලා ගියත් මම බය නැති බව පෙන්වන්න ගොඩක් උත්සහ කළා . 

"පිරිමියෙක් ඔය වෙලාවේ එළියට බැස්සොත් සොඳරි උගෙ බෙල්ලේ එල්ලිලා පහුරු ගාලා මරලා දානවලු . ඒත් ගෑනුන්ට නම් පණ බයයිලු . දැන් ඔය හඬ ඇහුණදා ඉඳලා දවස් හතක් ගිය තැන ගමේ කොතැනක හරි පිරිමියෙක් ගේ මල ගෙයක් අපිට ආරංචි වෙන්නැද්ද කියලා බලපල්ලකෝ . !”

අපි පිරිමි තමයි ඒත් ඒ වෙනකොට යන්තම් ඇටෙන් පොත්තෙන් එළියට එමින් හිටි පොඩි එවුන් වෙච්ච අපි ඔය විකාර කතා , ඕනෑවටත් වඩා පිළිගත්තා . මුත්‍රා බොක්ක පැලෙන්න තරම් චූ බරක් හැදිලා තිබුණත් නැන්දා කීව කතාව නිසා එළිය බහින්න තිබුණු බයට ගේ ඇතුළේ තිබුණු බාජනේකට චූ කරලා බයේ ගැහි ගැහී ඈඳට වැටිලා නිදාගන්න හදාපු එදා ඒ මොහොත මට තවම මතකයි හරියට මේ අද වගේ .

පහුවදා අම්මයි නැන්දයි දෙන්නම ගමේ පන්සලට ගිහින් බෝධි පූජාවක් තියලා පිරිත් වතුර බෝතලයක් අරං ඇවිත් ගෙදරට ඉස්සා . එදා ඒ කල දේවල් දිහා පොඩි එවුවෝ වෙච්ච අපි මහ පුදුම භක්තියකින් බලාන හිටියා

ඒත් අද මේ සරීර කූඩුව ඇතුළේ ඉන්නේ ඒ එදා හිටපු මල් පෙති වගේ බොළඳ හිත් තිබුණු පැඟිරි පොඩි එවුන් නෙවෙයි . කාලය ගත වෙලා ගිහින් අපි කරදඬු උස් මහත් වෙච්ච ඉලන්දාරි වෙලා . දැන් මේ හිත් හරියට කලු ගල් ගෙඩි වගේ සවි සක්තියෙන් උපරිමේට පිරිලා . මිථ්‍යා විශ්වාස වලට . නිමිති වලට, දැන් මේ හිත් ඇතුළේ ඒ තරම් තැනක් නෑ, තැනක් දෙන්න අපි කැමතිත් නෑ .

"විභාගෙට යන්න කලියෙන් නිමිත්තක් බලන්න යමු !”


නිතර ඔහොම කියන මගෙ අම්මා කොයි වෙලේත් කේන්දර , බෝධිපූජා , නිමිති හරි හරියට විශ්වාස කලා . හූනෙක් "චික් චික් " ගෑවම කොයි තරම් වැදගත් වැඩක් වුණත් පමා කරා . උදේ හවා දෙවියන්ට පහන තියන එක මහා ලොකු වගකීමක් කියලා හිතාගෙන වැඩ කලා . ගෙදර මිනිස්සු කරපින්නාගෙන ඉන්න මිථ්‍යා විශ්වාස කඩලා දාලා ඒ වැහිච්ච ඇස් අරවන්න මම කොතෙකුත් විශ්වාස කලා ඒත් වැඩක් නෑ .. මම තවම කජු කිරි කොල්ලෙක් ලු මට ඔවුවායේ තියන බලපෑම් තේරෙන්නේ තව ඉස්සරහටලු ..

තල් මලක් පීදුණොත් ගම් හතක් පාළු වෙනවාළු ! , සොඳරි හඬා වැටුනොත් දින හතක ඇතුළත පිරිමියෙකුගේ මරණයක් වෙනවාළු , හූනෙක් ඇඟට වැටුණාම විවිධ සුබ අසුභ දේ සිදු වෙනවාළු . යාළුවෝ ගැන්සියත් එක්ක අඩිය දානකොට නම් ඔවුවා උපහාසෙට අරං හිනා වෙන්න මට හොඳටම පුළුවන් . ඒත් මගේ හිත ඇතුළෙන් මම මේ අවිද්‍යාවත් එක්ක සටන් වදිනවා බොහෝම හෙමින් . මේවා ඇත්තද ? , බොරුද ? , පොඩි හෝ ඇත්තක් තියනවවත්ද ? අමූලික බොරු මනස්ගාතද ? මම තවම හොයනවා .. !

මීට දින කීපයක කලින් සෙනසුරාදා බෝම කාලෙකට පස්සේ අපිට සොඳරිගේ විලාපය ඇහුණා ! අම්මා රේඩියෝ එකේ පිරිත් මහ සද්දෙන් වැඩි කරන අතරේ මම එළියට බැහැලා ටෝච් එක ගහලා හතර අතේ හොයන්න ගත්තේ අම්මගේ නොනවතින දෝස්මුරේ මැදයි .
මෙවුවා මල විකාර

හිතෙන් බැණ බැණ ගෙදරට ආපු මම දොර වහලා දාලා බුදියගත්තා . ඒත් හරියටම ඊට දින තුනකට හතරකට පස්සේ ගෙවල් කීපයකට උඩින් ඉන්න නයනානන්ද මාමාගේ අවමගුලට සහභාගී වෙන්න මට සිද්ද වුණා . !

නයනානන්ද මාමා මගේ ගමේ හිටපු දෙවියෙක් වගේ මිනිහෙක් . මගෙ හොඳම යාළුවා කිතුලා ගේ තාත්තා . ඒ අවමගුලට සහභාගී වෙලා නිදි මැරුව ඊයේ දවසේ රෑ . අපි කතා වුණේ සොඳරි කෑගෑවේ මේ නිසාද කියන එකයි . .. ඒ ගැන අපි කාටවත් හරියට උත්තරයක් හොයාගන්න කවදාවත් බැරි වේවි .

මිථ්‍යා මත පිළිගන්න ඒවා මත්තේ නැහෙන්න තරම් මගෙ හිත දුබල නෑ ඒත් මේ ඇහෙන දකින දේ බොරු කියලා කියන්න තරම් මට හයියකුත් නෑ ! . හිතට එකඟවම කියනවා නම් මම දැන් මේ අමුතු දේවල් ටික ටික විශ්වාස කරනන්න පටන් අරං ..! විකාර කියලා හිතෙන් බැහැර කරන දේ මගෙ ඇස් පනාපිටම සිද්ද වෙනකොට මම කෝමද මේවා බොරුය කියලා හිනහ වෙන්නේ ...!

ජීවිතේ කියන්නේ ප්‍රශ්න ගොන්නක් .සමහර ප්‍රශ්න වලට උත්තර තියනවා . සමහර ප්‍රශ්න වලට උත්තර නෑ .. !
රැයක් තිස්සේ නිදි මරලා ඇවිදින් මේ ඩිංගිත්ත ලීවේ .මාසෙට ලියන ලිපි හත ගහන්නත් වඩා හිත හදාගෙන පොළවේ පය ගහලා ඉන්න ඔනෙ නිසාමයි . ! 


* උලමා යන සත්වයා අපේ පලාතේ සොඳරි ලෙස හඳුන්වයි.

උපුටා ගැනීම - 
සත්‍ය හොල්මන් කථා 
https://www.facebook.com/groups/191754987600288/