"වසර විස්සකට පමන පෙර මම ජීවිකාව සදහා කැබ් රථයක් ධාවනය කලෙමි. ඇත්තෙන්ම එය කටුක වුවත් සොදුරු රැකියාවකි,විශේෂයෙන්ම ස්වාමියෙක් යටතේ සේවක කිරීමට අකමැති ස්වාධීන අයෙකුට එය වඩාත් ගැලපුනි. එම කාලය තුල මට නොයෙකුත් ආකාරයේ මිනිසුන් සිය දහස් ගණනක් මුණගැසුනි. බොහෝ විට රාත්‍රී සේවය කරන විට මගේ කැබ් රියට ගොඩ වන බොහෝ මගීන් ඔවුන් ගේ ජීවිතය පිලිබදව නොයෙකුත් තොරතුරු මා සමග පැවසූ අතරඇතමෙක් තමා කල වැරදි මට පාපොච්චාරනය කලෝය. මට මුනගැසුනු සමහර පුද්ගලයන් ගේ ජීවිත කතා විටක මා විශ්මයට පත් කලේය,විටක මා ශෝකයට පත් කල අතර තවත් විටක ඒවා මගේ මුවගට නැංවූයේ සිනාවකි. "

නමුත් මගේ සේවා කාලය තුල මට මුනගැසුනු පුද්ගලයන් සිය දහසක් දෙනා අතුරින් තවමත් මගේ මතකයේ තදින්ම සටහන්ව ඇත්තේ එක් අගෝස්තු මාසයක රාත්‍රියේ මගේ කැබ් රථයට ගොඩ වූ එක් මහළු කාන්තාවක් පිලිබද වූ මතකයයි.

එදින මධ්‍යම රාත්‍රියේ මට නගරයේ ඈත කෙලවරේ වූ තට්ටු නිවාස සංකීර්ණයක් වෙත පැමිනෙන මෙන් ඇමතුමක් ලැබුනි. මීට පෙර ලබා තිබුනු අත්දැකීම් අනූව මා අනුමාන කලේ සාදයක් නිම වී නිවෙස් බලා පිට වීමට අවශ්‍ය තරුණයන් කණ්ඩායමක් හෝ තම සහකරු සමග දඹර කර ගත් පෙම්වතියක් කැබ් රිය ඇනවුම් කිරීමට ඇති බවකි.

පාන්දර 3 පමන වන විට මා නියමිත ස්ථානයට ලගා වූයෙමි. මුලු ගොඩනැගිල්ලම අදුරේ ගිලී තිබූ නමුත් බිම් මහලේ වූ එක් කාමරයක ජනේලය තුලින් ආලෝකයක් විහිදුනි.මෙවනි අවස්ථාව වල බොහෝ කැබ් රථ රියදුරන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය නම් දෙතුන් වරක් නලාව ශබ්ද කර ප්‍රතිචාරයක් නොමැති නම් නැවතත් පිට වීමයි. නමුත් මා කිසිවිටකත් එසේ ක්‍රියා නොකලේ තමන්ගේම කියා මෝටර් රථයක් නොමැති පුද්ගලයන්ට ඕනෑම හදිසි අවස්ථාවක ඇති එකම විසදුම වන්නේ කැබ් රථ පමනක්ම වන බැවිනි.අනතුරක සේයාවක් නොමැති සෑම අවස්ථාවකම මා අදාල නිවස වෙත යන අතර සෑම විටකම සිතුවේ "මේ මගියාට මගේ සහාය අවශ්‍ය වනු ඇත" කියාය.

එදිනද සුපුරුදු ලෙස අදාල කාමරය අසලට ගිය මා එහි දොර සීනුව වරක් නාද කලේය.
"මට තව මිනිත්තුවක් දෙන්න" දුර්වල වැඩිහිටි කාන්තාවකගේ ශබ්දයක් මට නිවස තුලින් ඇසුනි.

යමක් පොලව දිගේ ඇදගෙන එන ශබ්දයක් මට ඇසුනු අතර දිගු නිහැඩියාවකින් පසු ඉදිරි දොර විවෘත විය.නිවස තුලින් පිටතට පැමිනියේ අසූ වියැති පමන කුඩා මහළු කාන්තාවකි.ඇය වර්ණවත් ඇදුමකින් සැරසී හිස් වැස්මක්ද පැලද සිටි අතර මට ඇය පෙනුනේ 1940 දශකයේ සිනමා පටයක වූ චරිතයක් ලෙසිනි. ඇය පසෙකින් මදක් විශාල සූට්කේසයක් විය.එම නිවසේ වසර ගණනාවකින් කිසිවෙකුත් වාසය කල බවක් නොපෙනුනි.නිවසේ සියළු ගෘහ භාණ්ඩ ආවරණය කර තිබූ අතර බිත්ති මත ඔරලෝසු හෝ වෙනත් සැරසිලි කිසිවක් නොවීය.සාලයේ පසෙක් වූ කාඩ්බෝඩ් පෙට්ටියක රාමු කල ඡායාරූප විශාල ප්‍රමානයක් අසුරා තිබුනි.

"මගේ සූට්කේස් එක කැබ් එකට ගෙනියන්න පුලුවනිද පුතාට" මහළු කාන්තාව ඇසුවේය

මා සූට්කේසය රැගෙන කැබ් රියේ තැන්පත් කල අතර නැවත පැමිනියේ මහළු කාන්තාවට කැබ් රිය දක්වා පැමිනීමට උපකාර කිරීමටයි.ඇය මගේ අතින් අල්වා ගත් අතර අප දෙදෙනා ඉතා සෙමින් කැබ් රිය දක්වා පැමිනියෙමු.ඇය දිගින් දිගින් දිගටම මගේ කරුණාවන්තකම පිලිබදව ප්‍රසංශා කලාය.

"ඒක සුළු දෙයක් මැඩම්"
"මම හැම වෙලාවටම මගේ මහළු මගියොන්ට සලකන්නේ මගේ අම්මට වගේ" මම පැවසූවෙමි.

"ඔයා ගොඩක් හොද පුතෙක්" ඇය පිලිතුරු දුන්නාය

කැබ් රියට ගොඩ වූ පසු ඈ මට ලිපිනයක් සහිත කොළ කැබැල්ලක් ලබා දුන් අතර මගෙන් මෙසේ විමසුවාය.
"පුතේ අපි පරණ ටවුන් එක පැත්තෙන් යමුද"

"ඒ පැත්තෙන් දුරයිනේ මැඩම්" මම දෙවරක් නොසිතා පිලිතුරු දුන්නෙමි

"ඒකට කමක් නෑ පුතේ...මට හදිස්සියක් නෑ" ඇය පැවසුවාය

මා පිටුපස බලන කණ්ණාඩියෙන් ඇය දෙස බැලූවෙමි. මා දුටුවේ ඇයගේ දෑස් දිදුලන ආකාරයයි,ඒවා කදුලු පටලයකින් වැසී තිබුනි.

"මට මගේ කියලා කවුරුත් ඉතිරි වෙලා නෑ,දොස්තර කිව්වා මට තව වැඩි කාලයක් නෑ කියලා"

මම ඇයට නොදැනෙන ලෙස කැබ් රියේ මීටරය විසන්ධි කලෙමි.

"මැඩම්ට යන්න ඕනේ කොයි පැත්තෙන් ද කියලා මට කියන්න " පැවසූ මම ගමන ආරම්භ කලෙමි.

ඊළග පැය දෙකක කාලය තුල අපි නගරය පුරා සංචාරය කලෙමු.ලිපිකාරිනියක වශයෙන් ඇය තම පලමු රැකියාව කල ගොඩනැගිල්ල ඇය මට පෙන්වූවාය.නගරයේ පැරණි කොටස හරහා මා කැබ් රිය ධාවනය කල අතර විවාහ වූ අළුත සැමියා සමග වාසය කල පැරණි නිවස අසල රථය මද වේලාවකට නැවැත්වූවේ ඇගේ ඉල්ලීම පරිදිය.මද දුරක් ගිය පසු ඇගේ ඉල්ලීම පරිදි යලිත් කැබ් රිය නතර කලේ ගෘහ භාණ්ඩ වෙලද සැලක් අසලිනි. කලකට ඉහත එය නෘත්‍ය ශාලාවක්ව තිබී ඇති අතර මහලු කාන්තාව නව යොවුන් තරුණියක සමයේ මිතුරියන් සමග එහි පැමින ඇත්තේ නර්තන පුහුණුව සදහායි.සමහර විටක පැරණි ගොඩනැගිල්ලක් අසල කැබ් රිය නවතන ලෙස මගෙන් ඉල්ලා සිටි ඇය කිසිවක් නොකියා ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියාය.

නව දිනයක ප්‍රථම හිරු රැස් පොලව මත පතිත වන මොහොතේ හදිසියේ මා දෙස බැළු ඇය
"දැන් ඇති පුතේ අපි යමු මට දැන් ගොඩක් මහන්සි" යැයි පැවසුවාය .

මා නිහඩව ඇය ලබා දුන් ලිපිනය වෙත රථය ධාවනය කල අතර එය නගරයෙන් මදක් දුරින් වූ මහළු නිවාසයක් වූවේය.මා කැබ් රිය එහි පෝටිකෝවේ නතර කල විගස රථය වෙත පැමිනියේ මහළු නිවාසයේ සේවකයන් යැයි සිතිය හැකි පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් ප්‍රවේශමෙන් ඇයව මහළු නිවාසය තුලට රැගෙන ගියෝය.

රථයෙන් බැස ගත් මා ඇයගේ සූට්කේසය රැගෙන මහළු නිවාසය තුලට ගිය අතර මේ වන විට ඇය හාන්සි පුටුවක වාඩි වී සිටියාය.

"මම පුතාට කොච්චර දෙන්න ඕනෙද " තම පසුම්බිය විවෘත කරමින් ඇය මගෙන් විමසුවාය.

"කීයක්වත් නෑ මැඩම්" මම පැවසුවෙමි

"ඒත්... මේක පුතාගේ රස්සාවනේ?" මා දෙස විශ්මයෙන් බැළු ඇය මගෙන් විමසුවාය.

"මම අනිත් මගීන් ගෙන් සල්ලි ගන්නවනේ මැඩම්" යැයි මා පැවසූ විට අපහසුවෙන් ආසනයෙන් නැගී සිටි ඈ මා බදා ගත් අතර

"අද පුතා මහළු ගෑණියෙක්ට සතුටු වෙන්න පුංචි අවස්ථාවක් ලබා දුන්නා...මට මතක ඇති කාලෙකින් මම ගොඩක්ම සතුටු වුනේ අදයි...පුතාට ගොඩක් ස්තූතියි" යැයි පැවසුවාය. .මගේ දෑස් කදුලින් තෙත් වූ අතර මම ඇයට සමු දී යලි පිටත් වීමි.

එදින යලිත් කිසිදු මගියෙකු කැබ් රියට නංවා නොගත් අතර මම පැය ගණනාවක් අරමුණකින් තොරව රථය ධාවනය කලෙමි.

තම සේවා මුරය අවසන් කිරීමට බලා සිටින ක්‍ෂණිකව කෝපයට පත් වන රියැදුරෙක් ඇය වෙනුවෙන් පැමිනියා නම් කුමක් සිදු වන්නේද?
මා වරක් නලාව නාද කර ඇය නොපැමිනි නිසා යලිත් පැමිනියා නම් කුමක් සිදු වන්නේද?
ඇය ඉල්ලා සිටි පරිදි ඇයට අවශ්‍ය ස්ථාන වල රථය නොනවත්වා පැමිනියා නම් කුමක් සිදු වන්නේද?

පුද්ගලයන්ට ඔබ ඔවුන් වෙනුවෙන් කල දෑ අමතක වනු ඇත,ඔබ ඔවුන්ට පැවසූ දෑ අමතක වනු ඇත නමුත් ඔබ ඔවුන් ගේ සිතේ ඇති කල හැගීම ඔවුන්ට කිසි දිනක අමතක නොවනු ඇත..